පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 16, 2023

පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වී තිබේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (16) දහවල් කොළඹ පෞද්ගලික රෝහලක දී අපවත් වු බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව සඳහන් කළේය.

අපවත් වන විට උන්වහන්සේ  84 හැවිරිදි වියේ පසු වුණි.

අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමි, අග්ගමහාපණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහානාහිමි, අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමි ආදී මහ තෙරවරුන් වහන්සේලා අමරපුර නිකායේ මහානායක ධුර හෙබවීය.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ එම පදවිය සඳහා 2021 ජූලි මස 20 වනදා අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ධුරයට පත්විය.

උන්වහන්සේ මාතර දිස්ත‍්‍රික්කයේ, දොඩම්පහල ප්‍රදේශයේ වර්ෂ 1939 දෙසැම්බර් මස 20 දින එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට සහ එදිරිවීර පටබැඳිගේ සරණේරිස් සිල්වා මහතාට දාව උපත ලැබීය.

අනතුරුව වර්ෂ 1950 නොවැම්බර් 25දී කුඩාවැල්ල වාලූකාරාමයේදී, නූපේ ජයමහා විහාරාධිපති, විද්‍යාවිශාරද පණ්ඩිත, මාතර ශ‍්‍රී මේධානන්ද නාහිමියන් වහන්සේගේ සහ වාලුකාරාමාධිපති, මාතර ශ‍්‍රී සද්ධාරාම නාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් උතුම් පැවිදි දිවියට ඇතුළත් විය.

මූලික අධ්‍යයනය මාතර වීරබා පිරිවෙණෙන් හැදෑරු උන්වහන්සේ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණ හරහා උසස් අධ්‍යාපනය හැදෑරීය.

වර්ෂ 1962 ජූනි මස 17 වනදා උපසම්පදාවට පිවිසි මහානායක හිමියෝ කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ සමග එක්ව මෙරට විහිදී පැතිරී ඇති "ගෝතම තපෝවනය" නම් භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad