කළුතර ලැඟුම් හලකින් වැටී අභිරහස් ලෙස මිය ගිය සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුට අද අධිකරණය දුන් තීන්දුව (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Friday, May 12, 2023

කළුතර ලැඟුම් හලකින් වැටී අභිරහස් ලෙස මිය ගිය සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුට අද අධිකරණය දුන් තීන්දුව (VIDEO)

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු ලබන මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අද (12) නියෝග කලාය.

කළුතර දකුණ , ඉසුරු උයන , අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී.

කළුතර දකුණ , ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී සිටීයදී සොයාගන්නා ලද කළුතර, නාගොඩ, 'සැනසුම', අංක 115 ලිපිනයේ පදිංචිව සිටී ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන පෙරේදා (10) කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කොට පැය 48 ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි

පොලිසිය විසින් සැකකරුට අයත් රුපියල් 94,000 ක මුදල, බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර භාරයට ගෙන ඇති බව විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

එම දෑ අද උදෑසන වනවිටත් භාරදී නොමැති බැවින් නිවසේ ඇති කරන සුනඛයන්ද නිරාහාරව සිටින බව සදහන් කල විත්තියේ නීතිඥ වරයා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු වෙත එම දැ භාරදෙන ලෙසට පොලිසියට නියෝග කරන ලෙසය.

එහිදී පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතා සදහන් කලේ සැකකරු අද දිනයේ ගරු අධිකරණය හමුවට පැමිණවීමට පෙර රුපියල් අනුහතර දහසක මුදල , බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර බිරිඳ ඉදිරියේ සැකකරු වෙත භාරදුන් බවයි.

මෙම මරණය සියදිවි නසාගැනීමක්ද ? නොඑසේ නම් මනුෂ්‍ය ඝාතනයක්ද ? යන්න මෙතෙක් නිගමනය වී නොමැති බවත්, මියගොස් ඇති දැරියට අවසන් වරට දුරකථන ඇමතුමක් ලබදුන්නේ කවුරුන්ද යන්න සොයාගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත්වී ඇති බවත් අධිකරණය හමුවේ කියාසිටි විත්තියේ නීතිඥ මහතා ඉල්ලා සිටියේ සැකකරු හෘද රෝගයෙන් පෙලෙන බැවින් බන්ධනාගාරය තුලදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසය.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය සදහන් කලේ සැකකරුට ආරක්ෂාව සැලසීම බන්ධනාගාරය සතු වගකිමක් බවත් එය අධිකරණයේ වගකීමක් බවත්ය.

දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය සැකකරුගේ දත් පහරවල්ද යන්න පරීක්ෂා කිරීම සදහා වෝහාරික වෛද්‍යවරයෙකු හමුවට පැමිණවීමට අවසර ලබාදෙන ලෙස උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී 2023 මැයි මස 16 දා සැකකරු වෝහරික වෛද්‍යවරයකු හමුවට පමුණුවන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කලාය.

නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණ ශාලව තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශ නිළධාරීන් රැදී සිටි අතර ,දැරියගේ මරණය සම්බන්දයෙන් අද දින සිට ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් සිදුකරන බවටද අධිකරණයේදී කරුණු අණාවරණය විය.

පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා , උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී.
බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක වරුන්වන පොල්වත්ත සහ මැදගම යන නිළධාරීන්ද පෙනීසිටීයහ.

නඩුව ලබන මැයි 26 යලි කැදවීමට නියමිතයි.

කළුතර දකුණ පොලිසියේ නිළධාරීන් පිරිසක් අදත් දැඩි ආරක්ෂක රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන එන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *