දැඩිගම මුදලාලි දුටු තැන අල්ලන්න පොලිසිය සොයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 16, 2023

දැඩිගම මුදලාලි දුටු තැන අල්ලන්න පොලිසිය සොයයි

නොම්බර:239, හයිලෙවල්හ පාර, මහරගම පදිංචි දැරගම දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු රංජන් මලික් දැඩිගම මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් කළ අපේක්ෂිත ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂ‌ේප කර තිබේ.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති හා ‌බම්බලපිටියේ පිහිටි කොළඹ දකුණු කොට්ඨාස අපරාධ  කාර්යංශයේ ස්ථානාධිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් අදාළ අපේක්ෂිත ඇප ඉල්ලීම සිදු කර තිබිණි.

අදාළ අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ අතිරේක මසේත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත ඉදිරිපත් කර තිබිණි.

එම ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂ‌ේප කරනු ලැබුවේ දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු රංජන් මලික් දැඩිගම මහතා අපරාධයකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සැකකරුකුව සිටීම නිසාය.

රංජන් මලික් දැඩිගම මහතා, බොරැල්ල මරදාන පාරේ අංක 1038/22 දරණ ස්ථානයේ පිහිටි වෙළෙඳ සැලක් විනාශ කිරීම සහ එකී හිමිකාරිනියගේ ස්වාමියාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබීම මේ අපේක්ෂිත ඇප ඉල්ලීමට හේතුව බව වාර්තා වේ.

බොරැල්ල පදිංචි ප්‍රදීපා සුදර්ශනී නැමැති අයගේ වෙළෙඳසැල ගිනි තබා විනාශ කිරීම සහ වෙළෙඳසැල යළි ඉදිකර විවෘත කිරීමෙන් පසු පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය පොලිසියට පැමිණිලි කර ඇත.

ගිනි තැබූ වෙළෙඳසැල අලුත්වැඩියා කර විවෘත කර විනාඩි දහයක් ඇතුළත කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙළෙඳසැලට පහර දී පලාගොස් සිය සැමියාට ද පහරදී ඇති බව ඇය කල පැමිණිල්ලේ සදහන්ව ඇතැයි ද පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇතැයි ද මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු මෙම පහරදීමේ කොන්ත්‍රාත්තුව සිය පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ‘රූබී’ නැමැත්තාට ලබා දී ඇති බවට පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.

ඒ රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවකට බවද පැවසේ.

පහරදීමේ අවස්ථාවට දැඩිගම සමූහ ව්‍යාපාරයේ බොරැල්ල ශාඛාවේ සේවය කරන සූරිය ආරච්චි හා නන්දසාමි යන අයද එක්ව සිටි බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වේ.

මෙම පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතත් ප්‍රධාන සැකකරු වන දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු මේවන විට විදේශගතව ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

කෙසේවුවද, මීට පෙර ඔහු ලංකාවට පැමිණෙන විට කටුනායක දී අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මේ අනුව අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපවීමත් සමඟ දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු රංජන් මලික් දැඩිගම මහතා දුටුතැන ඇල්ලීමට පොලිසිය සොයමින් සිටින බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad