IMF යන්න බැරි නම් පිළිගත හැකි විකල්පයක් දෙන්න – එජාප නායකගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 28, 2021

IMF යන්න බැරි නම් පිළිගත හැකි විකල්පයක් දෙන්න – එජාප නායකගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ඩොලර් හිඟය රට තුළ දරුණු තත්ත්වයකට පත්ව තිබෙන අතර ඒ බර ජනතාවට උහුලා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අවධාරණය කරයි.

විශේෂයෙන් ව්‍යාපාර කඩා වැටෙමින් තිබෙන බවත් රැකියා අහිමි වෙමින් තිබෙන බවත් මැද පන්තිය පිරිහෙමින් තිබෙන බවත් ගොවීන් අතරමං වී සිටින බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම තත්ත්වයන්ට වහාම විසඳුම් දිය යුතු බව හෙතෙම කියා සිටියි.

කොවිඩ් වසංගතය හමුවේ වුවද ලොව බොහෝ රටවල් 2020-2021 කාලය තුළ ආර්ථික ප්‍රගතියක් පෙන්වා ඇති බවද ඔහු සඳහන් කරයි.

එම නිසා ආණ්ඩුවේ යුතුකම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගොස් ආධාර ලබා ගැනීම බවයි වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසන්නේ.

එසේ නොවන්නේ නම් ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කළ යුතුව ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මේ වන විට ජනතාව පසුවන්නේ කෝපයෙන් වන අතර ආහාර හිඟයකට ද මුහුණ දීමට සිදුව ඇති බව හෙතෙම කියාසිටියි.

“එන හැම ආරංචියක් අනුවම සිංහල අවුරුදු කාලේ වෙනකොට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. බොහෝ ප්‍රදේශවලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60%ක ප්‍රමාණයක් කියලා. මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් අපිට මුහුණදෙන්න තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. එහෙම නම් මේක වළක්වා ගන්න උවමනායි රට දියුණු කරන්නම්. දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුළුවෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. මේ ආහාර ලබාගන්න. ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩ ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නෑ. නමුත් තාවකාලික සහනයක් ගන්න හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා.” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad