පුත්තලමේ තවත් මහා විනාශයක් සොයා ගැනේ…බැරලෝහ අඩංගු ඊයම් උණු කිරීමේ කූට ජාවාරමක්…ජල පෝෂක වලට බරපතල හානී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

පුත්තලමේ තවත් මහා විනාශයක් සොයා ගැනේ…බැරලෝහ අඩංගු ඊයම් උණු කිරීමේ කූට ජාවාරමක්…ජල පෝෂක වලට බරපතල හානී

උපද්‍රවකාරි අපද්‍රව්‍ය ලෙස සැලකෙන බැරලෝහ අඩංගු ඊයම් උණු කිරීමේ මහා පරිමාණ කූට ජාවාරමක නිරතවන ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වට්ටකන්ඩල් ග්‍රාම නිළධාරි වසමේ මී ඔය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කර්මාන්ත ශාලාවක් දැනට මාස ගණනක සිට ඉතාමත් සූක්ෂමව පවත්වාගෙන යන බවත් ඒ හේතුව සිසාවෙන් මේ වන විට උග්‍ර පාරිසරික ගැටළු රැසක් පැන නැගී ඇති බව  කියයි.

මෙම ඊයම් උණු කිරීමේ කූට ජාවාරමේ නිරතවන්නන් සංවිධානාත්මකව මෙම ජාවාරම වසර ගණනාවක සිට ස්ථාන කිහිපයකදී නීති විරෝධි ලෙස සිදුකරගෙන ගොස් ඇති අතර, එම ප්‍රදේශයන් වලදී ඇතිවූ ජනතා ආරවුල් මත මෙම කර්මාන්තය මී ඔය යාබදව පවත්වාගෙන යනු ලබන බව කියයි. මෙම බැටරි උණු කිරීමේ ස්ථානය මේ වන විට පවත්වා ගෙන යනු ලබන්නේ රජය සතු මී ඔය ඇළරක්ෂිතයක බවත්, ඉන් ඔබ්බට අක්කර 50ට ආසන්න ඝණ කැලෑවකින් ආවරණය වී තිබූ  පුද්ගලික ඉඩමක් මේ සදහා යොදා ගෙන තිබෙන බවටයි ගම්මුන් චෝදනා කරන්නේ.

මොහුන් ප්‍රදේශයේ ඉතා රහසිගත ලෙසත් සූක්ෂම ලෙසත්  මෙම ඊයම් උණු කිරීමේ ස්ථානය පවත්වාගෙන යන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. මොවුන් වාහන වලින් ඉවත දමන ලද පරණ බැටරි වාහන යොදා ගනිමින් රැගෙන විත් එම ස්ථානයේදී උණු කර ඇති බවත්, එහින් ඉවත දමන උපද්‍රවකාරි අපද්‍රව්‍ය අඩංගු ඊයම් සහිත බැරලෝහ ස්භාවික පරිසරට මුදාහැරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. මෙම ස්ථානය කිසිවෙකුටත් නොදැනෙන ලෙස රහසිගතව පවත්වාගෙන යාමට ජාවාරම් කරුවන් ඉතා සූක්ෂමව කටයුතු කර ඇති පෙනී යයි. මෙම ජාවාරම හේතුවෙන් අධි උපද්‍රවකාරි අපද්‍රව්‍යක් වන බැරලෝහ පරිසරයට මුදා හැරීම මගින් බරපතල පාරසරික ගැටළු රැසකට ඉදිරියේ දී ජනතාවට මුහුණ දීමට සිදු වන බව විද්‍යාත්මකව හෙළිදරව් වී තිබේ.

මෙම පුද්ගලයින් ප්‍රදේශයේ නීති විරෝධි ලෙස මී ඔය ආශ්‍රිතව පිහිටා ඇති හිස් ඉඩම් වෙත විශාල වශයෙන් මෙම ඊයම් මිශ්‍ර අබිලි ද්‍රව්‍ය දැනට මාස ගණනාවක සිට රහසිගතව   බැහැර කර ඇති බවට ප්‍රදේශවාසී ජනතාව චෝදනා නගයි. මෙම ඊයම් මිශ්‍ර අබිලි ද්‍රව්‍ය බැරලෝහ කාණ්ඩයට අයත් බවත්, මෙම ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සදහා බල පත්‍රයක් පරිසර අධිකාරියෙන් ලබාගත යුතු බවත්, ඒවා බැහැර කිරීම සදහා කිසිසේත්ම මෙම පරිසරය සුදුසු නැති බවද, මෙම සුන්බුන් බැහැර කිරීමෙන් ප්‍රදේශවාසීන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ දැඩි අවධානම් තත්ත්වයක් උද්ගත වී ඇති බවද මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

තවද, ජලජ ජීවින්ට ඉතාමත් අහිත කර ලෙස බලපාන මෙම රසායනික ද්‍රව්‍ය නිසාවෙන් මී ඔය ආශ්‍රිත මත්ස්‍ය සම්පත සීඝ්‍රයෙන් වැනසී යන බවත්, මී ඔය ආශ්‍රිත මත්ස්‍ය සම්පතවදවී යාමේ තර්ජනයට ලක්ව ඇත්තේ මේ අහිතකර බලපෑම් නිසාවෙන් බව ඔවුන් පෙන්වා දෙයි. මෙම ඊයම් මත්ස්‍යයින්ගේ සිරුරේ තැන්පත් වීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට ගැනීමෙන් පසු මිනිස් සිරුරේද ඊයම් තැන්පත් වන බවත්, මේ හේතුවෙන් බිහිවන දරුවන්ද, වැඩි පිරිසක් නිල්දරු උපත්, අංගවිකල, මන්ද බුද්ධික වැනි රෝග වලින් පෙලෙන පිරිසක් බවට පත්වන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි. 

තවද මේ හේතුව නිසාවෙන් වන සිව්පාවුන්ට මහත් ප්‍රිඩාකාරි හිංසනයක් සිදුවන බවත්, මෙම ඊයම් උණු කිරීමේ ජාවාරම සදහා යොදා ගැනෙන ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් පසු නැවත බදුන් වල තැන්පත් කර තිබීමෙන් සතුන් ඒවා පරිභෝජනය කිරීමෙන් පසු විවිධ රෝගාබාධ වලට ලක්වන අයුරු දක්නට ලැබේ. මෙවැනි සාපරාධි ක්‍රියාවන් සම්බන්ධයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව, වනාතවිල්ලුව ප්‍රජා පොලිස් ඒකකය තුට්ටුවකටවත් මායිම් නොකිරීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

සටහන සේයා රූ
පුත්තලම කේ.ප්‍රියංකර











No comments:

Post a Comment

Post Bottom Ad