තලාව බැංකු මංකොල්ලකරුවන් හසුවේ -වසන්ත සොයිසා ඝාතකයිනුත් ඒ අතර - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

තලාව බැංකු මංකොල්ලකරුවන් හසුවේ -වසන්ත සොයිසා ඝාතකයිනුත් ඒ අතර



 අනුරාධපුර, තලාව ප‍්‍රදේශයේදී රාජ්‍ය බැංකුවක තිබූ සේප්පු කපා රුපියල් කෝටි 60 කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ගිය සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයා ඇතුළු සැකකරුවන් 6 දෙනකු 22දා
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය හා එප්පාවල පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම කල්ලියේ යුද හමුදා විශේෂ බළකායේ හිටපු සාමාජිකයන් තිදෙනෙකුද වන බව බුද්ධි කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

 එම බුද්ධි කොට්ඨාසය හා එප්පාවල පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොටුකරගත් බවද හෙතෙම කීය.

 අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන මෙම සැකකරුවන් එප්පාවල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවද හෙතෙම පැවැසීය.

 මෙම කල්ලිය මීට පෙර අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල පිහිටි බැංකු හා ඉන්ධන පිරවුම්හල් කොල්ල කෑම් ගණනාවකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයිද එම නිලධාරීයා කීය.

 මෙම කල්ලි නායකයා ඇතුළු පිරිස මීට පෙර වටිනා මරංචි රන් කැබලි බව පවසා තඹ කැබලි ලබාදී ගායකයන්, කී‍්‍රඩකයන් සහ ව්‍යාපාරිකයන් රවටා ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන වංචා කර ඇතැයි හෙළිවූ බවද එම නිලධාරීයා පැවැසීය.

 එසේ වංචා කළ මුදල්වලින් මොවුන් සුඛෝපභෝගී වාහන මිලට ගෙන ව්‍යාපාරිකයන් ලෙස සිට ඇතැයිද හෙතෙම කීය.

 ඉකුත් ජුලි 2 වැනිදා අලුයම මෙම සැකකරුවන් තලාව රාජ්‍ය බැංකුවකට ඇතුළුවී එහි මුදල් සේප්පු කපා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් රට පුරා දැඩි කතාබහක්ද ඇතිවිය.


 මොවුන් මෙම කොල්ලකෑම්වලට අමතරව මහා පරිමාණයෙන් කේරළ ගංජා හා මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයිද හෙළිවී තිබේ.

 සැකකරුවන් සොරාගත් රන් භාණ්ඩ හා මුදල් සොයා ගැනීමට ප‍්‍රශ්න කරමින් සිටින අතර අනුරාධපුරයේ වසන්ත සොයිසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකුද මෙම කල්ලියේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි හෙතෙම කියා සිටියේය.

 අනුරාධපුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

No comments:

Post a Comment

Post Bottom Ad