වත්කම් නඩුවෙන් ජොන්ස්ටන් නි‍දොස්කොට නිදහස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

වත්කම් නඩුවෙන් ජොන්ස්ටන් නි‍දොස්කොට නිදහස්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකළැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩු පහෙන් 2010 වර්ෂයට අදාළ නඩුවෙන් ඒ මහතා නි‍දොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29දා)
නියෝග කළාය. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කර සිටියාය. මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගයේ මෙසේ සඳහන් කර සිටියාය.

"විත්තිකාර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබුණේ වී නමුත් එවැන්නක් ගෙවූ බවට විත්තිකරු වෙතට ලැබුණු දැන්වීම් ඉදිරිපත් කර නොමැති වීම මත අදාළ වරද සිදු කළ බවට නිගමනය කළ නොහැක. විශේෂයෙන් අපරාධ චෝදනාවක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ යුත්තේ පැමිණිල්ල විසිනි. මෙම ව්‍යවස්ථාපිත වරදක් වුවද එවැනි වරදක මූලික අංග ඔප්පු කිරීමේ භාරය පැවරෙනුයේ පැමිණිල්ල වෙතය.

එහෙත් මෙම නඩුවේ විත්තිකරු විසින් 2010 වර්ෂයට අදාළව වත්කම් බැරකම් 2010 වර්ෂයේ මාර්තු 31 දිනෙන් අවසන් වන වර්ෂයට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපතිවරයාට ඉදිරිපත් කර නොමැති බවට තහවුරු වීමක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි මඟින් සිදුවී නොමැති බව සඳහන් කළ යුතුය.

ඒ අනුව මේ නඩුවේ චෝදනාවට අදාළ මූලිකම කාරණය වන 2010 ජනවාරි 31න් අවසන් වර්ෂය සඳහා වූ කාල වකවානුවට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් විත්තිකරු විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර නොමැති බවට වූ කාරණය පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමක් සිදු කර නොමැති බැවින් චූදිතට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලට වැරැදිකරු කළ නොහැකිය.

ඒ අනුව චූදිත නිදොස් කොට නිදහස් කිරීමට නියම කරන බවට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය. චූදිතට එරෙහිව නඩු විභාගයට අදාළ සාක්‍ෂි විමසීම අවසන් වීමත් සමඟ ඉකුත් ජූලි 23 වැනිදා විත්තිකරු විසින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර සිටියේ තමා මෙම වරද සිදු නොකළ බවය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු පහ ගොනු කර තිබිණ.

-කවින්ධ්‍යා පෙරේරා-

No comments:

Post a Comment

Post Bottom Ad