'මට ඒ හැඟීම දැනුණ විදිය කියන්න වචන නෑ' ආදරයේ ‘පළමු පාඩමෙන්ම’ සළෙළුන්ට ගොදුරුවූ දැරියක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

'මට ඒ හැඟීම දැනුණ විදිය කියන්න වචන නෑ' ආදරයේ ‘පළමු පාඩමෙන්ම’ සළෙළුන්ට ගොදුරුවූ දැරියක්.

Loading...

පරණ පරපුරට හෙනරත්ගොඩ. වැඩිහිටි පරම්පරාවට ගම්පහ. මිලේනියම් පරපුර ගම්පහ හඳුන්වන්නෙ ගම්පහ කියලා නෙවෙය,ි ජී පහ කියලා. දහස් සංඛ්‍යාත යොවුන් ළමාවරුන්ගේ ටියුෂන් පුරවරය. බිත්ති හතර නංවන ලද ටකරන් මඩුවලින් පටන් ගෙන ඒසී මැෂින් යට සිට ඕසෝන් රකින්නට කියා දෙන්න හදන ෆැන්ටසිමය ඇලිස්ගේ විශ්වලන්තය ‘ගම්පහ.’ ඇත්තටම ගම්පහ කියන්නෙ උප සංස්කෘතියක්. සමාජ විද්‍යාව හදාරන අයෙකුට අත්දැකීම් ගොන්නක්.
මහා සංස්කෘතියේ අධි විනිශ්චිත, පෙර විනිශ්චය කළ වික්ටෝරියානු සදාචාරවාදය ඔළුවෙන් හිටුවන්න ගම්පහ උප සංස්කෘතිය සමත් වෙනවා. මනෝරාජික යුතෝපියානු සංස්කෘතික හෙජමොනි මිලේනියම් පරපුර කනපිට හරවනවා. සචේතනිකව නැති නම් අචේතනිකව ඔවුන් පශ්චාත් නූතනවාදී අදහස් මත ලිංගික නිදහසේ ලාලසාව සොයා යනවා.
සෙනසුරාදා, ඉරිදා දවස්වල ගම්පහ රූම් ෆුල් කතා ඇහෙන්නෙත්, වීකේන්ඞ් එකේ. කොන්ඩම්, පෙති හොඳට විකිණෙනවා කියන්නෙත් ඒකයි. සදාචාරවාදී කඩතුරාවෙන් එපිට ඔවුන් ජීවිතය විඳිනවා. මේ කියන්න යන්නේ සාම්ප‍්‍රදායික ලෝකයේ ඇසින් සෑහෙන තරමට වසන් වෙච්ච මිලේනියම් පරපුර ද නිහඬ වෙච්ච කතාවක් ගැන.
අපි ඇයට සහේලි යැයි කියමු.
‘මගේ නම ගම දාන්න එපා. මම මගේ කතාව කියන්නම්. මම වැටිච්ච වළේ තවත් කෙල්ලෙක් වැටෙනවා දකින්න මම කැමැති නෑ.
මම හැදුණෙ ගෙදර ඇතුළෙමයි. ගෙදරින් ඉස්කෝලෙට. ඉස්කෝලෙන් ගෙදරට. එතැනින් එහාට මම ලෝකයක් දැනන් හිටියේ නෑ. ඒ ලේවල් කාලේ කියන්නෙ මට හම්බ වෙච්ච තෑග්ගක්. ඒ නිදහස් ජීවිතේ හැමදාම හිරවෙලා හිටපු කෙනෙක් විතරයි. ඒ හැඟීම කොහොම එකක් ද කියලා දන්නෙ එක්ටැම් ගේ ආරක්ෂිතයි. ඒත් කිසිම කෙනෙක්ට හැම තිස්සෙම එක්ටැම් ගෙයක ඉන්න බෑ. එක්ටැම්ගෙයින් එළියට බැහැපු ගමන් දැනෙන හුළංකෝඩෙට මුහුණ දෙන්න ඔවුන්ගේ අත්තටු ශක්තිමත් නෑ. අපේ රටේ සාම්ප‍්‍රදායික බමුණු මතවල ඉඳන් සමහර දෙමාපියන් දියණියන් හදන්නෙ ගෙවල් ඇතුළෙ ‘‘නාභිය නොදක්වා, සළු ඇද බොලට දක්වා’’ මනෝරාජික ෆැන්ටසිය තුළ සහේලිගේ ජීවිත කතාවේ පළමු ඛේදවාචකය වුණෙත් ඒක.
‘‘ඉතින් මම මට ලැබිච්ච නිදහසෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. මට එයාව හම්බ වුණේ ක්ලාස් එකේදීමයි. මට ඒ හැඟීම දැනුණ විදිය කියන්න වචන නෑ.’’
‘‘මම ඇත්තටම සෙක්ස් ගැන කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ. කිසිම දෙයක් මම සෙක්ස් කියලා හිතන් හිටියෙ ෆිල්ම්වල දැක්ක හාදු දෙන එක විතරයි.
අම්මලා පංතිවලට දුන්න සල්ලි මම එයාට වියදම් කරා. ලිංගිකත්වය කියන්නෙ මොකක්ද? කියලා නොදැන හිටිය මට මේක අමුතු අත්දැකීමක් වුණා.
තරහ වෙලා සතියකට පස්සෙ මගේ ක්ලාස් බෑග් එකේ පෙන් එක තිබ්බා. ඒකෙ හිටියෙ කවුරුවත් නෙවෙයි, මම. එයා මා එක්ක තිබ්බ ඔක්කොම ලිංගික සම්බන්ධතා වීඩියෝ කරලා.
මම එයාට කෝල් කරාම ඔර්ජිනල් වීඩියෝ එක ඕන නම් තැනකට එන්න කිව්වා.
මමත් ඉතින් ගියා. එයා මාව බය කළා වීඩියෝ එක ඉන්ටර්නෙට් දානවා කියලා. සම්බන්ධෙ දිගටම තියාගෙන යමු කියලා. මම බයටම කැමැති වුණා.
එයා එයාට ඕනෙ වෙලාවට මට කෝල් කරලා එන්න ඕන වෙලාවයි තැනයි කිව්වා. ලිංගික සම්බන්ධතා තියන්න කලින් බ්ලූ ෆිල්ම් බලලා ඒ තියන විදියට මාත් එක්ක එයා හිටියා.
ඒත් එක දවසක් එයා එයාගේ යාළුවොත් එක්ක ගෙන ඇවිත් තිබුණා. එතන දෙන්නෙක් හිටියා. මට එදා ඒ තුන් දෙනා එක්කම ඉන්න වුණා. ඒවත් වීඩියෝ කරන බව මම හරියටම දැන ගත්ත පස්සෙ. එයා ඒවා ඉන්ටර්නේට් දැම්මෙ නැති වුණාට ඒවා මිනිස්සුන්ට පෙන්නලා සල්ලි ගන්නවා.
මට දැන් මේ නරා වළෙන් ගොඩ ඒමක් නෑ. රටේම පිරිමි මාව දන්නවා. මම කවුද කියලා දන්නවා. ඇත්තම කිව්වොත් මම දැන් ගෙදරත් එක්ක ගනුදෙනු නෑ. අම්මලත් එක්ක රණ්ඩු වෙලා බෝඩිමක නැවතුනා. එතන ඉන්නෙත් මම වගේ කට්ටිය. මගේ අතට හොඳට සල්ලි ලැබෙනවා. කාලා බීලා ඉන්නවා. එච්චරයි.
එතකොට ඉස්සරහට මොකද කරන්න හිතාගෙන ඉන්නෙ? (ඒ ප‍්‍රශ්නය මගෙන්)
ඉස්සරහට මට මොන අනාගතයක්ද? ඇත්තෙන්ම එය ඇය අත්දුටු ඛේදවාචකයක් පමණක්ම නොවේ. ගම්පහ පමණක් නොව රටේ බොහෝ ප‍්‍රදේශවලින් මෙවැනි කතා අසන්නට ලැබෙන්නේය. කලකට පෙර පිටිසර ගම්මානවල තරුණියන් විවාහ කර ගැනීමට පොරොන්දු වී ලිංගික ශ‍්‍රමිකයන් ලෙස යොදා ගැනීම බහුලව සිදු විණි. මෙය අතීත කතාවේ වර්තමාන දිගුවයි. ආදරය මේ සඳහා යොදා ගන්නා ‘ඇම’ වීම ඛේදවාචකයයි.
සකල සිරින් පිරි මෙ සිරිලකේ සාක්ෂරතාව ඉහළ මට්ටමෙන් තිබුණ ද ලිංගික දැනුම, පරිගණක සාක්ෂරතාව ඇත්තේ ඉතා පහළ මට්ටමකය. අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමය තුළ (ද්විතීය අධ්‍යාපනය) ලිංගික අධ්‍යාපනය යනු ජීව විද්‍යා පාඩමක් නොව සෞඛ්‍ය පාඩමක්ය. සෞඛ්‍ය විද්‍යාව තුළින් බැරි නම් රොකට් විද්‍යාව තුළින් හෝ ලිංගික අධ්‍යාපනය දෙනවා නම් එය විශිෂ්ටය. එහෙත් අපේ රටේ පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නට කිසිවකුගෙන් උනන්දුවක් නැත. සරලවම කියනවා නම් පිරිමි ළමයින්/ ගැහැනු ළමයින් ලිංගික අධ්‍යාපනය ලබන්නේ නිල් චිත‍්‍රපට ආශ‍්‍රයෙනි. ඔවුන් ඊළඟට ලිංගිකත්වය යැයි හඳුනා ගන්නේ එකී ෆැන්ටසිමය මනෝ ලෝකයයි. දෙවැනි කරුණ නම් ලංකාවේ ලිංගිකත්වය යනු කෑම බීම නිදා ගැනීම වැනි සාමාන්‍ය ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් නොව වික‍්‍රමයකි. මැජික් එකකි. පිරිමි ළමයින් සම්බන්ධයෙන් නම් එය පරම වීර වික‍්‍රම නිර්භීත කි‍්‍රයාවක් වැනි මනෝ විකාරයකි. තුන්වෙනි කරුණ නම් ලංකාවේ සමාජීය චින්තනයේ ඇති අවීනිත, ම්ලේච්ඡු මානසිකත්වයයි. රටක භාෂාව තුළින් පෙන්වා දෙන්නේ ඒ රටේ ජනතාවගේ චින්තනයයි. ‘බඩුව, කෑල්ල, බඞ්ඩ’ වැනි කාන්තාවන් හැඳින්වීමට යොදා ගන්නා වචන හෙළි කරන්නේ එකී චින්තනයයි. ‘බඩුව, කෑල්ල, බඞ්ඩ’ යන වදන් තුළ ඇත්තේ ‘භාණ්ඩයක්’ යන අර්ථය. එනම් පරිභෝජනය කිරීමට ඇති දෙයක් මිස මනුස්ස ආත්මයක් නොවේ. සරලවම කියනවා නම් ‘ඒකි කෙල්ලෙක්’ කියනා විට දැනෙන මානුෂික හැඟීම ‘ඒකි බඩුවක්’ කියනා විට හැෙඟන්නේ නැත. එමෙන්ම ලක් බසේ කොතැනකවත් පිරිමි කෙනෙක්ට ‘ඒකා බඩුවක්’ කියන්නේ නැත. එතැන ඇත්තේ වැඩවසම් බමුණු චින්තනයයි.
ලංකාවේ තිබෙන අධ්‍යාපන ක‍්‍රමයට පින් සිද්ධ වෙන්න අපිට ඇත්තේ ගිරාපෝතක දැනුම මිස ප‍්‍රායෝගික දැනුම නොවේ. ඒ නිසා අපි ප‍්‍රායෝගික ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගත්තේ මඟපෙන්වීම් රහිත ස්වයං අධ්‍යාපනය තුළිනි. නිවැරදි මඟ පෙන්වීමක් රහිතව ලද ස්වයං අධ්‍යාපනයේ දුර්වලතා රැසක් ඇති වේ. අද රට මුහුණ දෙන සයිබර් අපරාධවලට මූලික හේතුව වන්නේ ද එයයි. ඇයගේ කතාව අපට කියා දෙන්නේ ඒ පාඩමයි.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad