දෙවැනි ප්‍රහාරයකට සැළසුමක් ඇතැයි ඉන්දියාවෙන් අනතුරු අගවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

දෙවැනි ප්‍රහාරයකට සැළසුමක් ඇතැයි ඉන්දියාවෙන් අනතුරු අගවයි

ජාතික තව්හීත් ජමාත්( ටී.එන්.ජේ) සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලීසියට දැනුම් දී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය ඊ‌යේ(23) වාර්තා කර තිබිණි.

ජාතික තව්හීත් ජමාත් සංවිධානය ඉස්ලාමික් ස්ටේට් ( අයි.එස්. ) සංවිධානයෙන් අධාර ලබමින් කතෝලික දේවස්ථාන තුනකට සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට මෙහි පළමු ප්‍රහාරය එල්ල කර ඇති බවත් එම සංවිධාන දෙක අතර සෘජු සබඳතා පවතින්නේ ද යන්න සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ත්‍රස්තවාදීන් දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කර ඇති බවත් එම ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට බුද්ධි සහ තාක්ෂණික සහය ලබාදෙන බවත් ඉන්දියාව දැනුම් දී ඇත.

හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඉන්දීය ආරක්ෂක අංශ තමිල්නාඩුවේ සිටින පූජකයෙකු සම්බන්ධව අවධානයෙන් පසුවන බවය.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලයේදී ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ දේවස්ථානවලට ප්‍රහාර එල්ල වූ අතර එම ප්‍රහාරවල වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන තිබිණි.

අයි.එස්. සංවිධානය කිතුණු බැතිමතුන්ගේ පූජනීය දිනවලදී ප්‍රහාර එල්ල කර ඇති බැවින් පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප්‍රහාරයත් අයි.එස්. සංවිධානය එල්ල කරන ප්‍රහාරත් අතර සමානකමක් පවතින බව ද විශේෂඥයන් සහ ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad