'ඇමැති පුතා පල්ලි යන්නෙත් නැහැ,කලින් දැන දැනත් මේ විනාශය නොවැළැක්වීම සැකයි'- මැල්කම් කාදිනල් රංජිත් කොළඔ අගරදගුරුතුමෝ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

'ඇමැති පුතා පල්ලි යන්නෙත් නැහැ,කලින් දැන දැනත් මේ විනාශය නොවැළැක්වීම සැකයි'- මැල්කම් කාදිනල් රංජිත් කොළඔ අගරදගුරුතුමෝ


Loading...

මෙවැනි විනාශයක් සිදුවන බව කලින් දැන දැනත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම තමන්ට මහත් සැකයට මෙන්ම වේදනාවටත් හේතුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඔ අගරදගුරුතුමෝ පැවසූහ. ‘‘ඇයි අපට මෙහෙම කළේ’’ කියා තමන් ප‍්‍රශ්න කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ. 

පාස්කු ඉරු දින සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ අගරදගුරු නිවසේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව ප‍්‍රකාශ කළ කාදිනල්තුමන් එවැනි ඛේදවාචකයන් වැළැක්වීමට අවශ්‍ය සියලූ පියවර ගැනීම රජයක වගකීමක් යැයි ද කීහ. 

රටක බුද්ධි අංශ ශක්තිමත් කරනු විනා දුර්වල නොකළ යුතු යැයි ද, මහජනතාවගේ ඉල්ලීමක් ලෙස එය රජයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළ උන්වහන්සේ පාස්කු ඉරු දින ඛේදවාචකය වැළැක්වීමට හැකිව තිබූ විනාශයක් බව දැනගත් පසු තමන් හිසේ අත ගසා ගත් බවත් පැවසූහ. 

මාධ්‍ය හමුවේ දී උන්වහන්සේ මෙසේද ප‍්‍රකාශ කළහ.

‘‘මීට වසර දහයකට පෙර මෙවැනි සිදුවීම් ලංකාවේ හැම තැන ම සිදු වුණා. හැම ජනකොටසකටම ඒ බව දැනුණා. අපිට යළිත් එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙලා. උඩින් පෙනෙන දේට වඩා යටින් පවතින දේ තමයි භයානක. මේ සිදුවීම් පිටුපස සිටින අවාසනාවන්ත තරුණයන් මෙහෙයවන තවත් අවාසනාවන්ත ලෙකු කණ්ඩායමක් ඇති. ඒ අය මේ කියන ජාතීන්ට අයත් නොවන අය විය හැකියි. ඒ බව සිහි තබාගෙන ඉතාම සන්සුන්ව අපි අපේ දුක දරා ගත යුතුයි. එයයි ක‍්‍රිස්තියානි වගකීම විය යුත්තේ.

මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි. නීතිය හැම දෙනාටම පොදු විය යුතුයි. යම් වරදක් කළා නම් ඊට දඬුවම් කිරීම නීතියේ වගකීමක්. මේ විනාශය කලින් දැනගෙන තිබූ බවට විවිධ මාධ්‍ය පළවුණා. විවිධ ආරංචි පැතිරුණා. නමුත් විනාශය වැළැක්වීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. එම දැනුම් දීම් නොසලකා කටයුතු කිරීම අපි හැම දෙනාටම ප‍්‍රශ්නයක්. රටේ ආරක්‍ෂක සේවා ශක්තිමත් කිරීම රජයේ වගකීමක්. ඇමැතිගේ තාත්තා කියනවා පුතාට පල්ලි යන්න එපා කියලා. ඇමැති පුතා පල්ලි යන්නෙත් නැහැ. රටට කාරණාව කියන්නෙත් නැහැ. ඇයි ඒ බව රටට නොකිව්වේ. රටටත් කිව්ව නම් මේ ජීවිත රැකගන්න තිබුණා.

නිලන්ත මදුරාවල
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad