ඉකුත් 31 වන දින උඩවලව ජාතික වනෝද්‍යානයේ බාරකරු ආර්. ඊ. ආර්. එස්. රණතුංග මහතාට තොරතුරක් ලැබුණි. ඉන් කියවුණේ උඩවලව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ, මව් ආර දාහතර හමාර ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක මියගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවයි. ඒ උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට මීටර් 500 ක් පමණ ගම්මානය දෙසට වන්නටය. ඒ අනුව වහා ක‍්‍රියාත්මක වූ උද්‍යාන භාරකරු හා වනජීවි නිලධාරීන් එක්ව එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණේ 31 වන දින සවස් කාලයේය. මියගිය කොටියාගේ සිරුර පරීක්ෂා කර බලා එම ස්ථානයට උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී පශු වෛද්‍ය මාලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද කැඳවා සිරුර පිළිබඳව මූලික පරීක්‍ෂණ කටයුතු සිදුකර සිරුර මවුආර වනජීවී කාර්යාලයට රැුගෙනවිත් එතනින් බුන්දල වනජීවි කාර්යාලයට රැුගෙන යෑමට කටයුතු කෙරුණි. ඒ වන විටත් මියගිය කොටියාගේ සිරුර කුණු වීමට පටන්ගෙන තිබුණි. අධිකරණයට ඉදිරිපත් කරන තෙක් කොටියාගේ සිරුර අයිස් වල බහා සිරුර ආරක්ෂා කිරීමට වනජිවි නිලධාරීන් කටයුතු කෙරුණි. මියගිය කොටියාගේ සිරුර වනජීවි නිලධාරීන්ට හමුවන අවස්ථාව වන විට කොටියාගේ ඉදිරි පාද දෙකේ කොටසක් හා මුඛයේ ඉදිරිපස දත් කිහිපයක්ද නොතිබුණි. එමෙන්ම මියගිය කොටියාගේ සිරුර හමුවන්නේද උද්‍යානයට පිටතින් පිහිටා ඇති ගම්මානයක 14 ඇළ නමැති ස්ථානයේ තිබීය. මේ නිසා මේ සම්බන්ධයෙන් මවුආර වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු විසින් සෙවනගල පොලිසියට පැමිණිල්ලක්ද සිදුකෙරුණේ කොටියාගේ මරණය අපරාධයක් බවට තිබූ සැකය නිසාවෙනි.
නව වසර උදාවූ පළමු දිනයේම වනජීවි නිලධාරීන්ට තිබූ පළමු කාර්ය වී තිබුණේ මියගිය කොටියාගේ සිරුර ඇඹිළිපිටිය මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමටය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර 01 වන දින මියගිය කොටියාගේ සිරුරද මහෙස්ත‍්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කෙරුණි. එහිදී සිරුර පිළිබඳව වූ මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහාද අධිකරණ නියෝගයක් ලබා ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කෙරුණි. අධිකරණ නියෝගයට අනුව උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී පශු වෛද්‍ය මාලක මහතා විසින් සිරුර පිළිබඳව මරණ පරීක්ෂණය සිදු කෙරුණි. එහිදීද අනාවරණය වී තිබුණේ මද්දකට හසුව මිය ගිය කොටියාගේ සිරුරේ ඉදිරිපස පාද දෙකේ කොටස් හා දත් 04 ක් නොමැති බවයි.
මරණ පරීක්ෂණ වාර්තාවත් සමගින් අභිරහසක්ව පැවති මෙම කොටියාගේ මරණය අපරාධයක් බවට තහවුරු කරගැනීමට පරීක්ෂණ කණ්ඩායම්වලට ප‍්‍රමාණවත් සාක්ෂි තිබුණි. හොඳින් වැඩුණු මෙම මිය ගිය කොටියාගේ නියපොතු ගැනීම සඳහා ඉදිරිපාද දෙක කිසියම් අයෙකු කපාගෙන යන්නට ඇති බවයි විශ්වාස කරන්නේ. මේ නිසා මෙම අපරාධයේ සුල මුල සොයා අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට වනජිවී නිලධාරීන්ට පොලිස් කණ්ඩායම් කිහිපයකම සහාය ගැනීමට සිදු විය.
ඒ අනුව සෙවනගල, උඩවලව, ඇඹිළිපිටිය, හම්බෙගමුව යන පොලිස් ස්ථාන වලින් පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙන්ම උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් හා වනජිවී නිලධාරීන් එක්ව සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණි. මීට අමතරව උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව උඩවලව ජාතික වනෝද්‍යානය වටා ඇති ගම්මානවලට රහස් පොලිස් නිලධාරීන් යෙදවීමටද පියවර ගැනුනේ මෙම අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාය.
පරීක්ෂණ කටයුතු සිදු කෙරුණු රහස් පොලිස් නිලධාරීන්ට මේ අපරාධය සම්බන්ධයෙන් තොරතුරක් ලැබුනේ මේ අතරවාරයේදීය. ඒ අනුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව තවදුරටත් තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසු සෙවනගල හා උඩවලව ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28, 31, 25 හා 18 වයස්වල පසුවන කරුවන් සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදි කරුණු රැුසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබේ. අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා සෙවනගල පොලිසිය විසින් ඉදිරිපත් කෙරුණේ ඇඹිළිපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයටයි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ඇඹිළිපිටිය මහෙස්ත්වරයා සැකකරුවන් තිදෙනකු මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණු අතර එක් සැකකරුවෙකු ඇප මත මුදා හරින ලෙස නියෝග කෙරිණි.
අප මේ සිදුවීම සම්බන්ධයෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ බාරකරු ආර්. ඊ. ආර්. එස්. රණතුංග මහතාගෙන්ද විමසීමක් සිදුකෙරුණි. එහිදී ඒ මහතා පැවසුවේ මෙවන් අදහසකි.
අපිට ලැබුණු තොරතුර අනුව අප එම ස්ථානයට ගියා. කොටියා මැරී සිටියේ වනෝද්‍යානයේ සිට මීටර් 500 ක් විතර ගම දෙසට වන්නයි. උද්‍යානයේ විවිධ ස්වභාවික හේතූන් නිසා සතුන් මිය යෑම ස්වාභාවිකයි. නමුත් මේ මියගිය කොටියාගේ මරණය අපට විශේෂයක් වුණා. මොකද අපට සිරුර හමුවන විට සතාගේ ඉදිරි පාද දෙකේ කොටසක් තිබුණේ නෑ. දත් 04 ක් පවා තිබුණේ නෑ. මේ නිසා අපි මේ සම්බන්ධයෙන් සෙවනගල පොලිසියට පැමිණිල්ලක් සිදුකරල පොලිස් කණ්ඩායම් කිහිපයකම සහාය අරගෙන සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකළා. එහිදී තමයි මීට සම්බන්ධ බව කියන වනයේ මලපුඩු තබා සතුන් අල්ලන පුද්ගලයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත්තේ. ඇත්තටම කියන්න ඕනේ අපේ රටේ මිනිස්සු අතරේ තියෙන වැරදි මතයක් තියෙනවා. කොටි දතක්, කොටි නියපොත්තක් අරගෙන බෙල්ලේ දමාගත්තම මුදු හදලා දමාගත්තම හොඳක් වෙනවා වාසනාව හිමි වෙනවා කියලා. මේක මහා මිථ්‍යා මතයක් විතරයි. මේ මිථ්‍යා මතය නිසා මේ සඳහා වැඩි ඉල්ලූමකුත් ඇතැම් පුද්ගලයන් අතර නිර්මාණය වෙලා තියෙනවා. උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටලා තියෙන්නේ ගම්මාන ගණනාවක් වටෙයි. ඉතින් අපි මේ උද්‍යානය වගේම උද්‍යානයේ ඉන්න වනසතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළ රැුසක් ක‍්‍රියාත්මක කරලා තියෙනවා. දිවා රාත‍්‍රි දෙකේම මේ වන විට අපි මුර සංචාර ක‍්‍රියාත්මක කරලා තියෙනවා. මේ සඳහා පොලිසියේ වගේම එස්ටීඑෆ් සහායත් අපි ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. මියගිය කොටියා සම්බන්ධයෙන් වගේම මේ සිදුවීම සම්බන්ධයෙන් අපි තවදුරටත් පරීක්‍ෂණ පවත්වනවා යැයිද ඔහු පැවසීය.
ශ‍්‍රි ලංකාවේ වෙසෙන බළල් කුලයට අයත් විශාලම සාමාජිකයා වන කොටියා, ලෝකයේ වෙසෙන කොටින් ගේ උප විශේෂයක් වන අතර ඔවුන් ශ‍්‍රී ලංකාවට ආවේනික වෙයි. එබැවින් ශ‍්‍රී ලංකා කොටියා ඡු්බඑයැර් ච්රාමි නදඑසහ් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. මොහු විලෝපිත ක්ෂීරපායි සත්වයෙකි. තොරතූරුවලට අනුව ශ‍්‍රී ලංකාවේ යාල ජාතික වනෝද්‍යානය තුළ මෙන්ම උඩවලව ජාතික වනෝද්‍යානය තුළද කොටින් ජීවත් වෙයි. තවද ශ‍්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය කොටියන් නැරඹීම සඳහා ඉමහත් ප‍්‍රසිද්ධියක් උසුලයි. ලොව අන් රටවල් හා සසඳන කල ශ‍්‍රී ලංකාවේ විවිධ පෙදෙස් තුළ කොටියන් විශාල වශයෙත් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන බෙදාගනිමින් ජීවත්වන බව නොරහසකි. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000 වඩා අඩු ශුෂ්ක නිසරු ප‍්‍රදේශ වලත්, මිලි මීටර් 1000 ත් 2000 ත් අතර වාර්ෂික වර්ෂාපතනයක් ඇති වියළි ප‍්‍රදේශ වලත් සහ මිලි මීටර් 2000 ට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති තෙත් කලාපයේත් කොටියා වාසය කරයි. විශේෂයෙන් වියළි කලාපයට අයත් සෑම වනාන්තරයකමත් සහ හෝටන් තැන්න සහ නකල්ස් වැනි කඳුකර වනාන්තරවලත් කොටියා වාසය කරයි. ඕනෑම කාලගුණික තත්ත්ව යටතේ හැඩගැසී ජීවත්වීමට හැකියාවක් මෙම සත්වයාට ඇත.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ශ‍්‍රී ලාංකික කොටියා සංරක්ෂණය කර ඇති සත්ත්වවයෙක් වන අතර, එම සත්ත්වයින් මෙරට තුළ සිටින්නේ දහසකටත් අඩු ප‍්‍රමාණයකි. එම නිසා මෙම සත්වයා කුමන හෝ අරමුණක් යටතේ ඝාතනය කිරීම බරපතළ වරදකි. එවන් පසුබිමක් තුළ උඩවලව ජාතික වනෝද්‍යානයේ මවුආර 14 ඇළ ප‍්‍රදේශයේ කොටියෙකු ඝාතනය කර තිබුණේ මෙම සත්වයාගේ ශරීර කොටස් ලබා ගැනීමටද යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණ තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.
මේ අපරාධය සම්බන්ධයෙන්ද අප කළ සොයා බැලීමේදී ගම්මුන්ගෙන්ද තොරුතුරු රැුසක් අනාවරණය කර ගැනීමට අපට හැකි විය. එහිදී අපට අනාවරණය වූයේ අත්අඩංගුවට පත් පුද්ගලයන් විසින් තැබූ මලපුඩුවකට මෙම සත්වයා හසුව ඇති බවත් පසුව මෙම සැකකරුවන් විසින් පොහොර බෑග් දෙකක දමා ත‍්‍රිරෝද රථයකින් එක් සැකකරුවෙකුගේ නිවසකට රැගෙන ගොස් ඇති බවත්ය. එහිදී එක් සැකකරුවෙකු සිය මවට මෙම කොටියා පෙන්වා ඇති අතර එහිදී සැකකරුගේ මව විසින් මොහුට දැඩි ලෙස දෝෂාරෝපණය කර නැවත තිබූ තැනකට ගෙනහින් දමන ලෙස දන්වා තිබේ. මවගේ බැනුම් හමුවේ සැකකරු හා අනෙකුත් සැකකරුවන් නැවතත් මියගිය කොටියාගේ සිරුර ත‍්‍රිරෝද රථයෙන්ම ගෙනවිත් අසල තිබූ ඇළක් අසලට දමා ගොස් ඇති බවයි ගම්මුන් පැවසුවේ.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදිද අනාවරණය වී ඇත්තේ කොටියා නිවසට රැගෙන ගිය බවත් පසුව නැවතත් කොටියාගේ සිරුර ඇළ අසලට ගෙනගොස් දැමූ බවත්ය. සැකකරුවනුත් පවසන ආකාරයට එය එසේ නම් කොටියාගේ ඉදිරි පාද දෙකේ කොටස් කපාගෙන ගියේ කවුද, කොටියාගේ දත් ගලවාගෙන ගියේ කවුරුන්ද යන්න ප‍්‍රශ්නගත කරුණකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ අංශ කිහිපයක් යටතේම ක‍්‍රියාත්මක වෙමින් පවතියි. ඒ අනුව මෙම අපරාධයේ නියම සැකකරුවන් කවුද, මියගිය කොටියාගේ සිරුරෙන් අතුරුදන් වූ සිරුරු කොටස් ඇත්තේ කා ළඟද යන්න තව නොබෝ දිනකින් හෙළි වන ඇතැයි අප විශ්වාස කරමු.
මේ සම්බන්ධයෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ බාර කරු ආර්. ඊ. ආර්. එස්. රණතුංග මහතා යටතේ මෙන්ම සෙවනගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ මෙහෙයවීමෙන්ද තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී.
මත්තල
දිලීප් එන්. ජයසේකර

No comments:
Post a Comment