හැකි ඉක්මණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති කමිටුවක් පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 23, 2023

හැකි ඉක්මණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති කමිටුවක් පත් කරයි

හැකි ඉක්මණින් ජාතික ආණ්ඩුවක් ස්ථාපනය කිරීමට අවශ්‍ය මූලික දේශපාලන මෙහෙයුම් සඳහා මැතිසබයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ගෙන් සමන්විත විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සංවිධානය කෙරෙන බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

මෙම විශේෂ මෙහෙයුම් කමිටුවට රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සමඟ රජයට එක්වීමට නියමිත විපක්ෂ මන්ත්‍රීන් කිහිපදෙනකුද ඇතුළත් බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

විපක්ෂයේ පක්ෂවලින් මේ කමිටුව සඳහා එක්ව සිටින මන්ත්‍රීන් හරහා අදාළ පක්ෂවල නායකයන්ට ජාතික ආණ්ඩුව පිළිබඳව ආරාධනා කෙරෙයි. එකී පක්ෂ නායකයන් ජාතික ආණ්ඩු ආරාධනය ප්‍රතික්ෂේප කළහොත් එම පක්ෂ නියෝජනය කරන ජාතික ආණ්ඩුවට එක්වීමට කැමැති මන්ත්‍රීන් සහභාගි කරගෙන ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

මේ ගැන දේශයට කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ නම් එමගින් දැන් තිබෙන ආණ්ඩුව සිදුකරන කටයුතුවලට වඩා යමක් සිදුවිය යුතු බවය. එසේම එම ආණ්ඩුවේ සංයුතිය ගැනද තම පක්ෂයේ දැඩි අවධානය යොමුකරන බව හෙතෙම පැවසීය. පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවක් සඳහා සහාය දීම හෝ නොදීම පක්ෂයේ තීරණය අනුව සිදුකරන බවය.

සමගි ජනබලවේගය ජාතික ආණ්ඩුව ගැන දරන මතය එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ තම පක්ෂයට ජාතික ආණ්ඩුවක් සම්බන්ධව නිල වශයෙන් කිසිදු ආරාධනයක් ලැබී නැති බවය.

කෙසේ වෙතත් වැඩිදුරටත් තොරතුරු සොයාබැලීමේදී අනාවරණය වූයේ ජාතික ආණ්ඩුව සඳහා පක්ෂ නායකයන්ගේ එකඟතාවයන්ගෙන් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව සමඟ එකඟ වී ඇති බවයි. එහෙත් අමාත්‍යධුර බෙදාදීමේදී පොහොට්ටුවේ යෝජනාවන්ට එකඟ නොවීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කලකිරීමෙන් සිටින බවද සඳහන් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad