දැනට යුද හමුදා භාරයේ ඇති මඩකලපුව ශර්යා විශ්වවිද්‍යාලයේ පරිගණක 06ක් සොරාගෙන යද්දී කෝප්‍රල්වරයෙක් අත් අඩංගුවට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 10, 2023

දැනට යුද හමුදා භාරයේ ඇති මඩකලපුව ශර්යා විශ්වවිද්‍යාලයේ පරිගණක 06ක් සොරාගෙන යද්දී කෝප්‍රල්වරයෙක් අත් අඩංගුවට!

යුද හමුදා - පොලිස් මාර්ග බාධකයක් පසුකරන් ඇවිත්... වැලිකන්ද පොලිස් මාර්ග බාධකයේ දී කොටු වෙලා....
දැනට යුධ හමුදා භාරයේ   ඇති මඩකලපු වාලච්චේන පොලිස් වසමට අයත් පුනානි ෂර්යා විශ්වවිද්‍යාලය බිඳ    එම පරිශ්‍රෙය් තිබුණ  පරිගණක හයක් සහ සිවිලිං ල‍යිට් අසූවක් සොරකම් කර පලායමින් සිටියදී යුද හමුදා කෝප්‍රල්වරයෙකු සහ ත්‍රීරෝද රථ රියදුරෙකු අද (10) අළුයම, අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
යුධ හමුදා සහ පොලිස් මාර්ග බාධකයක් පසුකරගෙන ත්‍රීරෝද රථයකින් මෙම භාණ්ඩ සොරාගෙන යමින් සිටියදී වැලිකන්ද කඩවත්මඩුව පොලිස් මාර්ග බාධකයදී  ඔවුන් අත් අඩංගුවට  ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.

තිස්පස් හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයා හත්වන වන ගැමුණු හේවා බලකාය නාවල්අඩි යුදහමුදා කඳවුරේ සේවය කරන බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. සැකකාර කෝප්‍රල්වරයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වේ.

කුලියට ගත් ත්‍රීරෝද රථයකින් , යුද හමුදා කෝප්‍රල්වරයා මෙම පරිගණක සහ සිවිලින් ලයිට් කදුරුවෙලට ගෙන ගොස් එතැන් සිට බස් රථයකින් කොළඹ දක්වා රැගෙන යාමට සැලසුම් කර ඇති බවද පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය කියයි.

ත්‍රීරෝද රථ හිමිකරු වැලිකන්ද කඩවත්මඩුව ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයකු වන අතර මෙම සැකකරුවන් සහ අදාළ නඩු භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය මඟින් වාලච්චේන පොලිසියට භාරදීමට නියමිතව ඇතැයි වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසුමකදී පැවසීය.
වැලිකන්ද පොලිස් බල ප්‍රදේශයට විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලොන්නරුව කොට්ඨාස මහා මාර්ග යතුරුපැදි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් සහ අදාල භාණ්ඩ අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

-මනම්පිටිය – නිමල් ජයරත්න
-lankasara

No comments:

Post a Comment

Post Bottom Ad