දරුවන්ගේ ආරක්ෂාව සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

දරුවන්ගේ ආරක්ෂාව සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

දරුවන්ගේ ආරක්ෂාව සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

දරුවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් ඉදිරි දෙසතියක කාලයේදී පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
සමාජය තුළ දරුවන්ට ඇති ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය කටයුතු ශක්තිමත් කිරීම එහි අරමුණ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
දරුවන් රැක ගැනීම සම්බන්ධයෙන් ඇති අභියෝග පිළිබඳ පුළුල් සමාජ කතිකාවතක් ඇති විය යුතු බව කී ජනාධිපතිවරයා රටේ දරුවන් හොඳ පුරවැසියන් හා රජුන් බවට පත්කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ කළ හැකි සියල්ල ඉටු කරන බව ද ප්‍රකාශ කළේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවා ඇති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
 
එම සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (20) පෙරවරුවේ පැවැත්විණි. 
 
කොළඹ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා මුල්‍යාධාර ප්‍රදානය, තිරසර පාසල් වැඩසටහන යටතේ ජල පහසුකම් හා ජලය බෙදා හැරීමේ නල පද්ධති නොමැති පාසල් වෙත එම අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රතිපාදන ලබාදීම, ළමා නිවාස හා රැඳවුම් නිවාස වල අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
 
කාන්තා, ළමා කටයුතු හා වියළි කලාප සංවර්ධන ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, ලලිත් වනිගරත්න, රංජිත් සෝමවංශ යන මහත්වරු, අධ්‍යාපන නිලධාරීන්, ගුරු මහත්ම මහත්මීහු, පාසල් සිසුහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad