අත්අඩංගුවට ගන්න ගිය වරෙන්තුකරුගෙන් අලවංගු හා උණුවතුර ප්‍රහාර - කොස්තාපල්වරුන් දෙදෙනා රෝහලේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

අත්අඩංගුවට ගන්න ගිය වරෙන්තුකරුගෙන් අලවංගු හා උණුවතුර ප්‍රහාර - කොස්තාපල්වරුන් දෙදෙනා රෝහලේ

නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ගෝනපල කුඹුක උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අවස්ථා දෙකකදී අලවංගුවකින් සහ උණුවතුර ප්‍රහාර එල්ල කළ පුද්ගලයකු දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ (26) උදෑසන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය පවසයි.

මෙම සැකකරු නඩත්තු ගෙවීම පැහැර හැරීමක් සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා තිබීම නිසා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) අලුයම 1 ට පමණ සැකකරු පදිංචි නිවස වෙත ගොස් අත්අඩංගුවට ගැනීමට සැරසීමේ දී නිවසේ තිබූ
අලවංගුවක් රැගෙන විත් පොලිස් නිලධාරියකුගේ හිසට පහරදිම නිසා පොලිස් නිලධාරියා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ මොරගහහේන පොලිසියට අනියුක්ත අධිකරණ අංශයේ සේවයේ නිරතවී සිටි පොලිස් කොස්තාපල් 75281 රවීන්ද්‍ර (32) යන නිලධාරියකු බවද පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී සැකකරු අත් පොරවක් ද අතැතිව තමා අත්අඩංගුවට ගතහොත් පහර දෙන බව පවසමින් කලබලකාරීව හැසිරීමත් එක් නිලධාරියෙකු තුවාල ලබා තිබීමත් නිසා සැකකරු අත්අඩංගුට් ගැනීමට සිය නිලධාරින් තුවාලකරු සමගින් රෝහලට යාමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

 පසුව ඊයේ (26) උදෑසන තවත් නිලධාරින් කණ්ඩායමක් සැකකරුගේ නිවස වෙත ගොස්  සැකකරු අත්අඩංගුවට ගැනීමට සැරසීමේදි උණු වතුර පිරවූ වතුර ජෝගුවකින් මොරගහහේන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් 85888 සුසිල් ශාන්ත (34) නිලධාරියාට පහරදීම නිසා එම නිලධාරියා පිළිස්සුම් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

 උණුවතුර ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේම අනෙක් නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට  ගැනීමට කටයුතු කළ බවද මොරගහහේන්න පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.

 අත්අඩංගුට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- කේ. බුද්ධික කුමාරසිරි -බිමල් ශ්‍යාමන් ජයසිංහ-

No comments:

Post a Comment

Post Bottom Ad