"මට අසාධාරණය කළේ ජනාධිපති" - රංගේ බණ්ඩාර කණගාටුවෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

"මට අසාධාරණය කළේ ජනාධිපති" - රංගේ බණ්ඩාර කණගාටුවෙන්

දූෂණයෙන්, වංචාවෙන් තොර සදාචාරාත්මක පාලනයක් රට තුළ ගෙන යනවා නම් කැබිනට් අමාත්‍ය ධුර පිරිනැමීමේදී ප්‍රථම අමාත්‍යධූරය හිමිවිය යුත්තේ තමන්ට යැයි එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

පැවති පාලනය වෙනුවට ඔක්තෝබර් විසිහය වෙනිදා නව පාලනයක් ගෙන එමින් මුදලට සහ තනතුරු වලට අමාත්‍යධුර ලබා දීමේ දී දූෂණ වංචාවලට එරෙහිව සැබෑ සටනක් ගෙන ගිය තමන්ට මේවන විට බලවත් අසාධාරණයක් වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඊයේ (24) මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් අමාත්‍යධුර ලබා දීම සඳහා රවීන්ද්‍ර සමරවීර, රාධා ක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන්ගේ නම් සමඟ තමන්ගේ නමද නිර්දේශ කර තිබියදීත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් තමන් හැර සෙසු දෙදෙනාට රාජ්‍ය අමාත්‍යධුර ලබා දීමට කටයුතු කර ඇති බව හෙතෙම පෙන්වාදුන්නේය.

"කැබිනට් අමාත්‍යධුර කිහිපයක් තවමත් පවතින්නේ පුරප්පාඩුවයි. අග්‍රාමාත්‍යවරයා මගේ නම නිර්දේශ කර තිබුණත් පත්වීම් බලධාරියා වන්නේ අග්‍රාමාත්‍යවරයා නොවෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මගේ නම දාලා තිබුණෙ නැහැ. පත්වීම් අග්‍රාමාත්‍යවරයා විසින් ලබා දෙන්නේ නම් මට මගේ දිස්ත්‍රිකයට සේවය කළ හැකි හොද අමාත්‍යධූරයක් හිමිවෙන්න තිබුණා."

එමෙන්ම කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තුවේ ඇතැම් මැති ඇමතිවරු සම්බන්ධයෙන් මේ දිනවල සිදුවෙම්න් තිබෙන කතා බහ පිළිබඳවද මන්ත්‍රීවරයා අදහස් දැක්වීය.

"අද ඇතමුන් පාර්ලිමේන්තුවට කොකේන් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරනවා. චෝදනා තිබෙනවා නම් කෙළින්ම නම් සමඟ චෝදනා ඉදිරිපත් කළ හැකි විය යුතුයි."

මෙවැනි පුද්ගලයන් උන්මත්තක ආඥා පනත අනුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු උන්මත්තක රෝහලට යොමු කරවීම වඩා සුදුසු බව තමන් විශ්වාස කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැ දුටුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad