"2015න් පසු විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක්වත් කාටවත් දී නෑ" - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

"2015න් පසු විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක්වත් කාටවත් දී නෑ" - ජනපති

විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක්වත් කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට පසුගිය වසර 4දී ලබාදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (24) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැති ත්‍රිපිටකාභි වන්දනා වැඩසටහනට එක්වෙමිනි.

 “මාධ්‍ය තුළත් මේ දිනවල බොහෝම තදින් ප‍්‍රචාරය වෙනවා මේ විල්පත්තු අභයභූමියේ වන සංරක්ෂණය තුළ මේ ඉඩම් දීමක් පිළිබඳව. අපේ මහ නායක හාමුදුරුවනේ මම බොහෝම පැහැදිලිව සඳහන් කරන්නට  ඕනෑ මේ ගෙවී ගිය වසර 04 තුළ 2015 ජනවාරි 08 වෙනිදා සිට අද දක්වා කාලසීමාව තුළ විල්පත්තු වන රක්ෂිතයේ අභයභූමියේ කිසි ම පුද්ගලයකුට හෝ කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබවහන්සේලාට ගෞරව පූර්වකව මෙහි දී සඳහන් කරන්නට  ඕනෑ.” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ බුදුපියාණන් වහන්සේගේ දේශනාව ඇතුළත් ත්‍රිපිටකය ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින්, ලිඛිතව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ‍්‍රී ලාංකිකයන් වන අප සතු බවයි.

ලෝකයේ ඇති විශාල වූත්, ග‍්‍රන්ථාරූඩ වූත් ඥාන සුමදාය වන ත්‍රිපිටකය මුද්‍රණ ද්වාරයෙන් ප‍්‍රකාශයට පත් වන තුරු ම එය රැකගත්තේ ශ‍්‍රී ලාංකේය මහා සංඝරත්නය බව පැවසූ ජනාධිපතිවරයා යුනෙස්කෝ ලෝක මතක වැඩසටහන යටතේ මෙම අප‍්‍රමාණ උරුමය ලැයිස්තුගත කිරීමටත් වඩා වැදගත් වන්නේ මෙමගින් හිමිකාරිත්වය, භාරකාරිත්වය පිළිබඳව ශ‍්‍රී ලංකාව ලෝකයේ ම පිළිගැනීමට ලක්වීමේ අවස්ථාව උදාවීම බව ද කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කුමන අන්දමේ විරුද්ධ අදහස් සහ අභියෝග එල්ල වුවද උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ලෝක උරුමයක් බවට පත් කිරීමට තැබූ පියවර සාර්ථකව ඉදිරියට තබන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad