අකිලගේ ටැබ් කතාවේ බොරුව ජනපති හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 1, 2019

අකිලගේ ටැබ් කතාවේ බොරුව ජනපති හෙලි කරයි

සස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිතුමා පවසයි.

දිවයිනේ සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට මුලින්ම ඉදිරිපත් කෙරුණේ 2017 වසරේ දී ය.
එහි දී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද මෙකී යෝජනාවට ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ නිර්දේශය වූයේ දීප ව්‍යාප්තව එකවර මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම නුසුදුසු බවත්, එය ජාතික පාසල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රථමයෙන් ආරම්භ කළ යුතු බවත් ය.

විශේෂයෙන්ම අත්‍යවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණකය මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයන්ට ප්‍රවේශවීම වැළැක්විය යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව විය. අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිරව වෙනත් කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව වළක්වමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබාදීමට පියවර ගන්නා බව ඒ අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ව්‍යාපෘතියේ ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණි. අදාළ යෝජනාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වූයේ ද මෙවන් ව්‍යාපෘතියක් ජාතික පාසල්වලින් ආරම්භ කළ යුතු බවයි.

දීප ව්‍යාප්තව පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා රුපියල් බිලියන පහමාරක මුදලක් වෙන් කර තිබිණි. එහි දී ජනාධිපතිතුමාගේ යෝජනාව වූයේ මෙම මුදලෙන් නියමු ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබාගෙන ඉතිරි මුදල් දිවයින පුරා පාසල්වල විශාල අඩුපාඩුවක්ව පවතින ඩෙස් පුටු ඇතුළු අනෙකුත් උපකරණ ලබාගැනීමට යොදවන ලෙසයි. එමෙන්ම මෙම නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල කොපමණ ද යන්න නිශ්චිතව සඳහන් කළ යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව විය. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා 2017 වසරේ කැඳවන ලද ටෙන්ඩරය නියමු ව්‍යාපෘතියට අනුව වෙනස්විය යුතුය.

පාසල් දරුවන්ට නව තාක්ෂණය සමඟ දැනුම ලබාදීම අත්‍යවශ්‍ය වුව ද දරුවන්ගේ විනය සහ මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමාගේ අදහස වී තිබේ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය


No comments:

Post a Comment

Post Bottom Ad