බීමතින් රිය පදවා අනතුරක් කළ රංගේබණ්ඩාර ගේ පුතාට වෙච්ච දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 18, 2020

බීමතින් රිය පදවා අනතුරක් කළ රංගේබණ්ඩාර ගේ පුතාට වෙච්ච දේ !

රච්චිකට්ටුව, කෝට්ටපිටිය ප්‍රදේශයේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු එජාප අමාත්‍ය රංගෙබණ්ඩාර මහතාගේ පුතකු වන රංගෙබණ්ඩාරලාගේ යශෝද රංගෙබණ්ඩාර මහතාට හලාවත මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා රුපියල් 32,500ක දඩ මුදලක් නියම කරමින් රියැදුරු බලපත්‍රය මාස 6කට තාවකාලිකව අවලංගු කරනු ලැබීය.

දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා විත්තිකරුට දැඩි ලෙස අවවාද කළේය. 2019.06.08 වැනිදා කෝට්ටපිටිය - කරුක්කුපනය අතුරු මාර්ගයේ පැමිණ කෝට්ටපිටිය _ හලාවත _ පුත්තලම ප්‍රධාන මාර්ග මංසන්ධියේදී විත්තිකරු ඇතුළු පිරිස ගමන්ගත් කැබ් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නිවෙසකට බරපතළ හානි සිදුකිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය විසින් මෙම නඩුව විත්තිකරුට එරෙහිව පවරා තිබිණි.

විත්තිකරු විසින් අධිකරණයෙන් දෙන ලද නියෝගයකට අනුව අලාභහානි වූ නිවෙස සාදා දී ඇති අතර බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් වළක්වා නොගැනීම, අන්තරාදායක රිය පැදවීම, පෞද්ගලික දේපළ හානි කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබිණි.

ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රථ වාහන අංශය විසින් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අතර පොලිස් සැරයන් පේමරත්න (23078) සහ පොලිස් කොස්තාපල් රත්නායක (77328) අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කළහ.

වීහේණ අනුරාධ


No comments:

Post a Comment

Post Bottom Ad