බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න - ජනපති නිලධාරීන්ට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 17, 2020

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න - ජනපති නිලධාරීන්ට දන්වයි

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය.
එමෙන්ම  විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද  කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග (17) පැවති හමුවේ දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෝටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්භාණ්ඩ, ඇගළුම්, ඖෂධ, කුළු බඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයෝ සහ  කර්මාන්තකරුවෝ  සාකච්ඡාවට එක්ව සිටියහ.

නිෂ්පාදනකරුවෝ සහ ආයෝජකයෝ  බදු ගෙවීමේ දී හා රේගුවේ දී මුහුණපාන ගැටලු සහ පරිසර ප්‍රශ්න ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළහ. විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේ දී විවිධ පාර්ශ්ව වෙතින් මතු කෙරෙන  සෙසු ගැටලු රටේ අභිවෘද්ධියට විශාල බාධාවකි. අවිධිමත්  සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන් ද නිහඩව සිටීම කණගාටුවට කරුණකි. රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවන්ට සහයවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව  ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


No comments:

Post a Comment

Post Bottom Ad