මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,මහන්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පාලන කාලය තුළ තමයි රටේ හැම ගමකම අස්සක් මුල්ලක් නෑර විදුලිය ලබා දෙන්න අපිට හැකිවුණේ. මේ ගම්වලත් අපි හැම තැනටම විදුලිය දුන්නා.නමුත් අපි එහෙම විදුලිය දුන්නේ සැලසුම් සහගත වැඩපිලිවෙලක් අනුවයි.මහින්ද මහත්තයගේ මඟ පෙන්වීම යටතේ එම කාලයේ දැවැන්ත විදුලි බලාගාර ගණනාවක් ඉදිකිරීමට විදුලි බල ඇමැතිවරයා ලෙස මට අවස්ථාව ලැබුණා. නොරොච්චෝලේ, කෙරවපිටිය, ඉහල කොත්මලේ විදුලි බලාගාර අපි ඉදිකරලා රටේ විදුලි ජනන පද්ධතිය ශක්තිමත් කලා.ඒ කාලේ රටේ ජනගහනයෙන් 60%කට පමණ තිබුණු විදුලිය අපි රටේ සමස්ත ජනගහනයෙන් 95%කට දුන්නා.
ඒ වගේම 2015 වර්ෂයේත් අපගේ විදුලිබල උත්පාදන සැලැස්ම අනුව විදුලි බලාගාර ගණනාවක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණත්, යහපාලන රජය පසුගිය අවුරුදු පහ පුරාවට මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ඉදිකල විදුලි බලාගාරවල අඩුපාඩු සෙවීමට කාලය වැය කලා හැරෙන්නට කිසිදු විදුලි බලාගාරයක් අළුතින් ඉදිකිරීමට අපොහොසත් වුණා.අපි ඉදිකල නොරොච්චෝලේ බලාගාරය විගණාකාධිපති වාර්තාව අනුව රටට සිදුකළ විශාල ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දීමත් සමග ඔවුන් නිහඬ වුණා.
තවදුරටත් අදහස් දක්වමින්,රටේ විදුලි බල අවශ්‍යතාවය විදුලිබල මණ්ඩලයට ලබා දීමට නොහැකිවන විට හදිසි විදුලි මිලදී ගැනීම් වලට යාමට සිදුවෙනවා.එතනදී තමයි විශාල වංචාවන් සිදුවෙන්නේ.පසුගිය රජය සමයේ සිදුකල එවැනි මිලදීගැනීම් සමග අද විදුලිබල මණ්ඩලය විශාල පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා.නමුත් එවැනි වංචාවන්ට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තුළ කිසිදු ඉඩක් නොමැති බව අපි කවුරුත් දන්නවා.
ඒ වගේම ජනාධිපතිතුමා ඇතිවිය හැකි විදුලි අර්බුදයකට දැන් සිටම මුහුණ දීමට අවශ්‍ය උපදෙස් වගේම විදුලිබල උත්පාදනය සඳහා අනුගමනය කළහැකි ආර්ථිකමය වශයෙන් ලාභදායී විදුලිබල උත්පාදන ක්‍රම සම්බන්ධවත් විෂයභාර අමාත්‍යවරුන් සහ නිලධාරීන් මේ වන විටත් දැනුවත් කර තිබෙනවා.
– ධම්මික තිලකරත්න


No comments:
Post a Comment