ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ලබා දෙන ඉන්ධන ණය වැඩි කරගැනීමට යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ලබා දෙන ඉන්ධන ණය වැඩි කරගැනීමට යයි


ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දෙන ණය සීමාව වැඩි කර ගැනීමට  අද (05) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඉකුත් සඳුදා පෙරවරුවේ ඇතැම් ප‍්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කෙරුණා. අමාත්‍ය මහින්ද අමරවීර මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වයෙන් කරුණු විමසීමක් සිදු කළ අතර ඛණිජතෙල් සංස්ථාව විසින් ඉන්ධන සැපයීම නතර කිරීම එලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීමට හේතුවූ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව මේ වනවිට රුපියල් බිලියන 88 ක් ඉක්මවා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන ණයට ලබාදී තිබෙනවා. කෙසේවෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව යන ආයතන 02 කම රාජ්‍ය ආයතන බැවින් පවතින ගැටලූ සාකච්ඡා කර විසඳා ගත හැකි බවයි අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ පවතින උනුසුම් සහ වියළි කාලගුණය නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි.

ඉදිරි මාසවලදී දෛනික විදුලි අවශ්‍යතාව තවදුරටත් වැඩි වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව විදුලි හිඟයක් ද ඇතිවිය හැකියි. මෙම හිඟය පියවා ගැනීම සඳහා විදුලිය ලබා ගැනීමට මේ වනවිටත් ප‍්‍රසම්පාදන කටයුතු ආරම්භ වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පාරිභෝගිකයින් ද කල්පනාකාරී විය යුතු බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad