අයියත් එක්ක දාන සෙල්ලම් මල්ලිත් එක්ක බෑ... කටුනායක ගුවන් තොට හදන ජපන් සමාගම වැඩ සම්පුර්ණ නොකලොත් Black List කරන බව ඇමති ප්‍රසන්න කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 8, 2020

අයියත් එක්ක දාන සෙල්ලම් මල්ලිත් එක්ක බෑ... කටුනායක ගුවන් තොට හදන ජපන් සමාගම වැඩ සම්පුර්ණ නොකලොත් Black List කරන බව ඇමති ප්‍රසන්න කියයි

කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් ඉදිරි මාස 03 තුළ අවසන් නොකළොත් ජපන් රජයට පැමිණිලි කර අසාදු ලේඛන ගත කරන බවට අදාළ ඉදිකිරීම් සමාගමට ඇමති ප්‍රසන්න රණතුංග මහතා අනතුරු අගවයි. මෙම අංගනයේ ඉදිකිරිම් මැයි මස 31 වන දින වන විට අනිවාර්යෙන් ම අවසන් කල යුතු බව ද ඇමතිවරයා එම සමාගමට දැඩි ලෙස උපදෙස් දුන්නේය.

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධනය ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක දි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව අවධාරණය කළේය.

සාකච්ඡාව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ දී පැවැත්විණ.

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වලින් එකක් වන්නේ එහි නව ගුවන් යානා අංගනය ඉදි කිරීමයි. ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 06 කි. අදාළ ජපන් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව පැවරී ඇත්තේ 2017 වසරේ අප්‍රේල් මාසයේ දීය. 2019 ඔක්තෝම්බර් මාසයේ දි මෙහි ඉදිකිරීම් අවසන් කළ යුතු වුව ද අවස්ථා 04 කදී මෙහි කාලය දීර්ඝ කර තිබේ. එලෙස දීර්ඝ කර තිබු කාලය ද  පෙබරවාරි 28 වෙනි දා අවසන් වුව ද එහි වැඩ අවසන් ව ඇත්තේ 75%ක ප්‍රමාණයක් පමණි. මෙම ඉදිකිරීම් කටයුතු අවසන් නොවීම නිසා ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් මේ නිසා ගුවන් තොටුපළට දැඩි අලාභයක් සිදුවන බවත් ගුවන් තොටුපළ බළධාරීහු මෙහි දී පෙන්වා දුන්හ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අදාළ කොන්ත්‍රාත්කරුවන්ගෙන් විමසා සිටියේ මෙම ප්‍රමාදයට හේතුව කුමක් ද යන්නයි. ගංගා වැලි සොයා ගැනිමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය ඇති වු බව කොන්ත්‍රාත් සමාගම පැවසීය. මුහුදු වැලි උපයෝගී කරගෙන ඉතිරි වැඩ අවසන් කිරීමට සමාගම අනුමැතිය ඉල්ලා සිටිය ද ගුවන් තොටුපළ ඉංජිනේරු අංශය ඊට සිය විරෝධය පළ කළේය. ” ඔබ මේ කොන්ත්‍රාත්තුව නිම කරලා යයි. නමුත් ගුවන් තොටුපළ පවතින්න ඕන”. ඇමතිවරයා එහි දී කීවේය. එකිනෙකාට දොස් පවරා ගැනීමෙන් වැඩක් නෑ. මේ කොන්ත්‍රාත් එක අවසන් කරන විදිහ කියන්නයැ‘යි ඇමතිවරයා සාකච්ඡාවට සහභාගී වු කොන්ත්‍රාත් සමාගමට හා උපදේශක සමාගමට කීවේය.

මැයි මස 31 දින වන විට ඉදිකිරීම් අනිවාර්යෙන් ම අවසන් කළ යුතු බව නියෝග කළ ඇමතිවරයා මෙම ප්‍රමාදය නිසා ගුවන් තොටුපළට සිදුවන පාඩුව සමාගමෙන් අය කර ගැනිමටත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය මගින් විශේෂ කමිටුවක් පත් කර මෙම කටයුතු දිනපතා අධික්ෂණය කිරිමටත් මේ පිළිබද ව ජපන් තානාපති කාර්යාලය හා ජයිකා ආයතනය සමග සාකච්ඡා කිරිමටත් තීරණය කෙරිණ.

“මේ ඔයගොල්ලන්ට දෙන අවසාන අවස්ථාව. මේක මැයි 31 වන විට අවසන් නොකළොත් ජපාන රජයට පැමිණිලි කරලා බ්ලැක් ලිස්ට්  (අසාදු ලේඛන) කරනවා. ඒ එක්කම අපට සිදු වු අලාභය සම්පූර්ණයෙන් ම අය කර ගන්නවා. හේතු දක්වමින් ඉන්නේ නැතිව වැඩේ ඉවර කරන්න. අපි එහෙම කළොත් ලෝකේ කොහෙවත් කොන්ත්‍රාත් කරන්න බැරි වේවි ” යැයි ඇමතිවරයා මෙහි දී අදාළ සමාගමට දැඩි ලෙස අනතුරු ඇගවුයේ ය.

– ප්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad