චීනය මහජන බැංකු තහනමෙන් සියළු බැංකුවලට ජාත්‍යන්තර බාධා.. අත්‍යවශ්‍ය දෑ ආනයනය අවහිර වේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 5, 2021

චීනය මහජන බැංකු තහනමෙන් සියළු බැංකුවලට ජාත්‍යන්තර බාධා.. අත්‍යවශ්‍ය දෑ ආනයනය අවහිර වේ!

චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයේදී ජාත්‍යන්තර වශයෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පෙන්වා දෙන්නේ මෙම අසාදු ලේඛනගත කිරීම චීනය තුළ පමණක් සිදු වුවත් අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු පද්ධතිය කෙරෙහිම එම සමාගම් අවධානය යොමු කරන බවයි.

මේ නිසා ඩී.ඒ.ක්‍රමය හෙවත් පසු ගෙවීමේ ක්‍රමය යටතේ ආහාර ද්‍රව්‍ය ආනයනයේදී අදාළ සමාගම් විසින් භාණ්ඩ ලබා දීමේදී සීමා පනවා තිබේ.

මෙම තත්ත්වය මත ආසියානු කලාපයේ රටවල්හි භාණ්ඩ අපනයන සමාගම් ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමට පවා බිය පළ කරන බැවින් එම අසාදු ලේඛනගත කිරීම ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නම් භාණ්ඩ ආනයනය බාධාවකින් තොරව සිදු කිරීමේ හැකියාවක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

දැනට සුදුලූනු පමණක් චීනයෙන් ආනයනය කරනු ලබන බවත් අදාළ මිලදී ගැනීම් සියල්ලම පෞද්ගලික බැංකු හරහා සිදු කිරීම නිසා එම අසාදු ලේඛනගත කිරීම බාධාවක් නොවන බවත් නිහාල් සෙනවිරත්න පවසයි.

චීනයෙන් ගෙන් වූ කාබනික පොහොර තොගයක් ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව පසුගිය 27 වැනි දින අසාදු ලේඛනගත කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබුණි.

මෙහිදී චීන ආර්ථික හා වාණිජ කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳාමේ දී චීන සමාගම්වලට විශාල පාඩුවක් සිදුව ඇති බැවින් ශ්‍රී ලංකාව සමග වෙළෙඳාමේ දී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙසයි.

– Aruna


No comments:

Post a Comment

Post Bottom Ad