‘රනිල් හා එක්වෙමු’ යෝජනාවකින් SJB ගාලගෝටියක්... සජිත්ට සුළු පිරිසයි... අවුරුදු පාටියත් අල වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 6, 2023

‘රනිල් හා එක්වෙමු’ යෝජනාවකින් SJB ගාලගෝටියක්... සජිත්ට සුළු පිරිසයි... අවුරුදු පාටියත් අල වෙයි!

පසුගිය 3 වැනිදා විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සජබ මන්ත්‍රි කණ්ඩායම තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයට කැඳවා රාත්‍රි භෝජන සංග්‍රයක් ලබා දුන්නේය. මේ වන විට සජබ මන්ත්‍රි කණ්ඩායම අතර සජිත් ගැන ඇති වී ඇති කලකිරීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳ ඇති වී ඇති ප්‍රසාදයත් නිසා සජිත් සිය මන්ත්‍රි කණ්ඩායමේ හොඳ හිත දිනාගැනීම සඳහා මෙම අවුරුදු පාටි උප්පරවැට්ටිය සංවිධානය කළේය. සාදය පැවැත්වීමට කලින් යොදා ගෙන තිබුණේ අප්‍රේල් 4 වැනිදාය. නමුත් අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ වහාම සජබ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ආණ්ඩුව හා එක් වීමට නියමිත බවට පුවතක් වෛරල් වීමත් සමගම සජිත් කලබල විය. ඒ අනුව වට්ස් අප් පණිවුඩයක් මගින් 4 වැනිදාට යොදා ගෙන තිබුණු සාදය 3 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නේය.
මෙම සාදයට සජබ සියලු දෙනාටම පාහේ ඇරියුම් කර තිබුණද සහභාගී වී තිබුණේ 25ක් වැනි සුළු පිරිසක් පමණි. සහභාගීත්වයේ දුර්වලතාව දුටු සජිත් අවුලෙන් අවුලට පත් විය. පසුගිය ටිකේ කලකිරීම නිසා පැත්තකට වී සිටි සියලු දෙනාම පාහේ සාදයට පැමිණ සිටියේ නැත. සමහරු කලින් දැනුම් දීමකින් තොරවම වැඩේ මග හැර තිබිණි. සාදයට නොපැමිණිය හැකියැයි අනුමාන කරන අය කෙසේ හෝ ගෙන්වා ගැනීමට සජිත් වෙනුවෙන් ඉතිරි වී සිටින කීප දෙනා මහත් වෙහෙසක් ගෙන තිබිණි. ඒ අනුව මේ වන විට පක්ෂයේ කල්කිරියාව ගැන බෙහෙවින් කලකිරී සිටින තලතා අතුකෝරල හා රෝහිනී කවිරත්නව සාදයට ගෙන්වා ගැනීමට මොවුන් අප්‍රතිහත වෙහෙසක් ගත්තේය. නමුත් තලතා අතුකෝරල සද්ද නොකරම පාටිය මගහැරියේය. අසනීප තත්ත්වයක් නිසා පැමිණීමට නොහැකි බව දන්වා සිටි රෝහිනීව වදෙන් පොරෙන් ගෙන්වා ගැනීමට සමත්විය. කෙසේ වෙතත් මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, පලනි දිගම්බරන් යන සුළු ජාතික නායකයන් පාටිය වර්ජනය කර තිබිණි.

සජබ අභ්‍යන්තර අරංචි මාර්ග පවසන පරිදි මේ වනවිට සජබ එකම අවුල් ජාලයකි. අවුලට හේතුව වී ඇත්තේ එජාපය හා සජබ එකතු විය යුතුයැයි ඇති වී ඇති යෝජනාවයි. මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ තලතායි. තලතා මේ ගැන මීට මාස කීපයකට පෙර රුවන් විජේවර්ධන හා සාගල රත්නායක මුණගැසී සාකච්ඡා කර තිබේ. සජිත් ප්‍රමුඛ කරගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන් යැයි මුලින් සජබ පිරිස හිතුවත් මේ වන විට එම මතය දියරු වී තිබේ. දැන් සියලුදෙනාගේ මතය වී ඇත්තේ එජාප හා සජබ බල හවුලක් ඇති කරගත යුතු බවයි. වෙනකක් තබා සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පවා දැන් දැන් මෙම මතය දැරීමට පටන් ගෙන තිබේ. මීට ප්‍රතිපක්ෂව සිටින්නේ තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර්මාකර්, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් කීපදෙනකු පමණක් බව කියවේ.

හිරුණිකාටත් දැන් තේරිලා

මේ වන විට සජබ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන කලකිරීම් සහගත තත්ත්වය හා ආණ්ඩුවට එක්වීමට ඇතිවී ඇති උනන්දුව පිළිබඳ සජබ ප්‍රබලයකු අදහස් දැක්වූවේ මෙසේය.

‘‘සජබ විශාල පිරිසක් ඉන්නේ කලකිරීමෙන්. රනිල් කියන්නේ අලුත් කෙනෙක් නෙවෙයිනේ. අවුරුදු 30ක් විතර සර්… සර්… කියාගෙන හිටිය අයනේ. ඉතිං එයා කරන කොට දැන් ඒකට නැඹුරුව තියෙනවා හැමෝගෙම. න්‍යායාත්මක වෙනසකට නෙවෙයිනේ පක්ෂේ දාලා ආවේ. ඒ වෙලාවේ රනිල්ට දිනන්න බෑ කියන මතය හින්දයි අවේ. දැන් ඉතිං ඒක වෙනස් වෙලා තියෙනවා සෑහෙන්න.


සජිත් එක්ක ඉතිං හතර පස්දෙනෙක් ඉතිරි වෙයි. ඒකත් ඉතිං රනිල් ගන්න අකමැති අය. තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉමිතියාස් බාකිර්මාකර්, බුද්ධික පතිරණ. මේ අය හැර අනිත් අය ඔක්කොම ඉන්නේ එක මතයක. මේ අයගෙන් පිරිසක් මේ වෙනකොටත් තීන්දුවක් අරගෙන ඉන්නවා. තව කොටසක් පාවෙමින් ඉන්නවා. කොහොම වුණත් හැමෝම ඉන්නවා රනිල් එක්ක යම් තැනකට යන්න ඕන කියන මතයේ.

රුවන් කියලා තිබුණා සජිත්ට අගමැතිකම දෙන්න ඕන කියලා එහෙම කරන්න පුළුවන්නම් හොදයි. රනිල් වුණත් අකමැති වෙන එකක් නෑ ඒකට. නමුත් සජිත් ඉන්නේ සිහින ලෝකෙක.

හිරුණිකා වුණත් රනිල්ට ගැහුවේ මේ අද හෙට සජිත් ජනාධිපති වෙයි කියලා හිතලනේ. ජනවාරි වෙනකොට සජිත් ජනාධිපතිවෙයි කියලා හැමෝම හිතුවා. දැන් හිරුණිකාටත් තේරිලා. දැන් රනිල්ගේ හොඳ කිය කිය ඉන්නවා.


දැන් ඔක්කොම බොරු මත ඉවරයි. ජවිපෙත් වැටුණා. අපිත් වැටුණා. ජවිපෙට ගියේ කලකිරුණු පොහොට්ටු සාමාජිකයෝ. නමුත් දැන් එයාලට පේනවා රනිල් එක්ක ආයෙත් ගමනක් තියෙනවා කියලා. ඒ නිසා එයාලා ආයෙත් හැරිලා පොහොට්ටුවට යනවා’’

සජිත්ගෙන් තනතුරු දන්සලක්

සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුවට එක්වීම වළක්වා ගැනීමට සජිත් ප්‍රේමදාස මේ වනවිටත් විවිධ වරදාන ප්‍රදානය කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. පක්ෂය හැර යන බවට වාර්තා වී ඇති මන්ත්‍රිවරුන් ඉලක්ක කරගෙන එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර තනතුරු බෙදා දීමට සැලසුම් කර ඇති අතර ඉන් එක් තනතුරක් මුජිබර් රහුමාන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රිවරයාටද ලබා දීමට සූදානමක් ඇත. ඒ අනුව අප්‍රේල් 10 වන දින සජබ උප සභාපති තනතුරක් බාර ගැනීමට ෆවුසි මන්ත්‍රිවරයාට සුදානම්ව සිටින ලෙස දන්වා ඇත. මේ අතර ජලනි ප්‍රේමදාස තමන්ට හිතවත් කාන්තාවන් සජබ තුළ උත්කර්ෂයට නැගීමත් සංවිධායක ධුරවල ඇති වී ඇති ගැටලුත් නිසා මේ වනවිට අකර්මණ්‍යව සිටින පක්ෂයේ ප්‍රබල කාන්තා චරිත දෙකක් වන තලතා අතුකෝරලට හා රෝහිනී කවිරත්නටද අලුත් තනතුරු දෙකක් ලබාදීමට සජිත්ගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව තලතාට සමගි කාන්තා බලවේගයේ සභාපති තනතුරත් රෝහිනීට අධ්‍යාපනය සම්බන්ධ වගකීම්ද පැවරීමට නියමිතය.

මේ පිළිබඳ අදහස් දක්වමින් සිරිකොත ප්‍රකාශකයකු පැවසුවේ මොන උත්සාහයන් දැරුවත් තම පක්ෂයේ පැරණි හිතවතුන් යළිත් පක්ෂය වෙත පැමිණීම ස්ථිර බවයි.

“සජිත්ව අතහැරලා ආපහු එන කට්ටිය ගැන ඇහැව්වොත් පුදුම හිතෙයි. දැන් සජිත්ට බැහැ පක්ෂ විනය රැකගන්න. මේ පැතිමාරු කරන වැඩේ ලොකු බරක් අරගෙන වැඩ කරන්නේ හිටපු ප්‍රබල ඇමැති කෙනෙක්” සිරිකොත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

රනිල් හා තුන්දෙනෙක් රහස් කතාවක

පෙරේදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණ ගැසුණි. 12 දෙනකුගෙන් පමණ සමන්විත වූ මෙම පිරිස අතර සාගල රත්නායක, රුවන් විජේවර්ධන, රවි කරුණානායක වැනි ජනාධිපතිවරයාට අතිශයෙන් සමීපතමයින් සිටියේය. මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර සජබ පිරිස එජාපය හා එක් වීම, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරියේදී ගොඩනැගීමට නියමිත නව සන්ධානය හා මැයි දිනය වැනි කරුණු පිළිබඳ පූර්ණ වශයෙන් අවධානය යොමු කරමින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. මෙවර එජාප මැයි දිනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට මෙහිදී එකඟතාවට පැමිණියේය. පසුව ජනාධිපතිවරයා හා තවත් එජාප ප්‍රබලයන් තුන්දෙනකු පමණක් දේශපාලන රහස් සාකච්ඡාවක් පැවැත් වූ අතර ඒ සම්බන්ධ නිල තොරතුරක් තවමත් නිකුත් වී නොමැත. මේ පිළිබඳ තොරතුරක් ලබාගැනීමට අප කළ උත්සහයේදී යොජිත කැබිනට් සංශෝධනය අප්‍රේල් අවසානයේදී වගේ සිදුවිය හැකි බවට තොරතුරක් අනාවරණය විය.

– Aruna


No comments:

Post a Comment

Post Bottom Ad