ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට අදාළ කමිටු වාර්තාව ජනපතිට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට අදාළ කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට අදාළ කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුව සිය කමිටු වාර්තාව ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ පසුගිය ජනවාරි 07 වනදා යි.

ආයතනය ඈවර කිරීම හා නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුම, ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන අංශ තුන පිළිබඳව මෙම කමිටු වාර්තාව මගින් නිර්දේශ යොමු කර තිබෙන අතර, එහි තුන්වන කරුණ වන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබඳ අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය.

ආයතනය ප‍්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් හා කළමනාකාරිත්වයක් හඳුනාගැනීම, ව්‍යාපෘති ආකෘති සංශෝධනය,මානව සම්පත් ප‍්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප‍්‍රවර්ධනයේ දී සහයෝගීතාවය පිළිබඳ සොයා බැලීම යන කරුණු පිළිබඳව අවධානය යොමු කර කටයුතු කළයුතු බවට ද කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

කමිටු වාර්තාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.

නියමිත කාලයට අනුව කමිටු වාර්තාව භාරදීමට පියවර ගැනීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා එහි සියලු සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනැමී ය.

No comments:

Post a Comment

Post Bottom Ad