ස්වාභාවික මරණයක් ලෙස තීන්දු කර අවසන් කටයුතු සඳහා බාර දුන් මෘත දේහයක් නැවත ගෙන්වා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ විට ගෙළ සිර කර සිදු කරන ලද ඝාතනයක් බවට අනාවරණය වීමත් සමග ඒ සම්බන්ධයෙන් මාරවිල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ නාත්තන්ඩිය - ඉහළ තබ්බෝව පදිංචිව සිටි මුතුකුඩ ආරච්චිගේ රුක්මණී දේවි මල්ලිකා (අවු:61) ක කාන්තාවකි.
ඝාතනයට ලක්වූ කාන්තාව ඇය පදිංචි නිවසේ තනිවම ජීවත් වී ඇත. රෝගී තත්ත්වයෙන් පසුවූ ඇයගේ තොරතුරු සොයා බැලීම සදහා දරුවන්ද නිතර එම නිවසට පැමිණ ඇත. පසුගිය 28 වැනිදා නිවසට පැමිණ ඇති එක් දරුවෙකු දැක ඇත්තේ මව කිසිදු කථා බහක් නොමැතිව නිහඬව සිටින ආකාරයයි. එම දරුවා කඩිනමින් තම මව මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා පවසා ඇත්තේ ඇය මිය ගොස් ඇති බවය.
28 වැනිදා සවස මිය ගිය කාන්තාවගේ හදිසි මරණ පරීක්ෂණය මාරවිල මූලික රෝහලේදී සිදු කර ඇත. මිය ගොස් ඇති කාන්තාව විවිධ රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ඇති බවට වූ වෛද්‍ය වාර්තාවන්ද දරුවන් විසින් හදිසි මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇත. එමෙන්ම මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බවද දරුවන් හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ පවසා ඇත.සියල්ල සැළකිල්ලට ගෙන ඇති මාරවිල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක නීල් ගරුසිංහ මහතා මිය ගොස් ඇති කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා එය ස්වාභාවික මරණයක් බවට තීන්දු කර මළ සිරුර අවසන් කටයුතු සදහා දරුවන්ට බාර දීමට කටයුතු කර ඇත.
දරුවන් විසින් මළ සිරුර රෝහලෙන් රැගෙන ගොස් අවසන් කටයුතු සඳහා නිවසට රැගෙන යාමට මල් ශාලාවකට බාර දී ඇත. ඒ අතරතුර තමන්ට ලැබුණු තොරතුරක් අනුව මළ සිරුර නැවත රෝහල වෙත ගෙනවිත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට හදිසි මරණ පරීක්ෂකවරයා කටයුතු කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානක කුළරත්න මහතා සඳහන් කර ඇත්තේ මෙම මරණය ගෙළ සිර කිරීමක් හේතුවෙන් සිදුවී ඇති එකක් බවය.
එම වාර්තාවට අනුව මරණය සිදුවී ඇත්තේ ගෙළ සිර කිරීමකින් බවට තීරණය කර ඇති හදිසි මරණ පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙස මාරවිල පොලීසියට නියෝග කර ඇත.
කවරෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මාරවිල පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ජුඩ් සමන්ත - පුත්තලම
Monday, January 28, 2019
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment