Loading...
නව මුදල් වසරක් සඳහා අයවැය යෝජනා සකස් කෙරෙන රටක සාමාන්‍යයෙන් නම් මේ දිනවල සිදුවිය යුතුව ඇත්තේ අයවැය යෝජනා පිළිබඳව සමාජයේ පුළුල් කතාබහක් නිර්මාණය වී තිබීමය. එහෙත් අපේ සමාජයේ තවමත් අය වැය ගැන කතා කරන්නට දෙයක් ඇත්තේ නැති ගාණය. වෙනත් වෙනත් කරුණු කාරණා පිළිබඳව නම් අපේ සමාජයේ වාද විවාද බොහෝය.
පසුගිය සතියට පෙර සතියේ අපේ සමාජයේ පුළුල් ලෙස සාකච්ඡාවට ගැනුණු එවන් ප‍්‍රධානම මාතෘකාව වූයේ මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත්වීම පිළිබඳ සිද්ධිය යි. අනෙකුත් සියලූම මාතෘකා යටපත් කරමින් මාකඳුරේ මධූෂ්ගේ කතාව සමාජයේ ඉහළින් සාකච්ඡාවට බඳුන් වන්නට වූයේ තව තවත් අතුරු කථා ද ගණනාවක්ම සමගයි. එහෙත් පසුගිය සතිය වන විට ඒ සියල්ල ද පරණ කථා බවට පත් විය. ඉන්පසුව සමාජ අවධානය දිනාගත් අලූත් කතාව වූයේ මේ ආණ්ඩුව ඇතුළෙත් හෙරොයින් කුඩු හා කොකේන් වැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඇමැතිවරු සිටිනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයකු ඉදිරිපත් කරන ලද හෙළිදරව්වකි.
සෑමවිටම මෙවන් කතාවකින් සමාජය කිති කවන්නට සමත් අලූත් සංවාද සමාජයට ඉදිරිපත් කරන ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයකු වන රන්ජන් රාමනායක මෙම හෙළිදරව්ව ඉදිරිපත් කිරීමත් සමගම අභියෝග රාශියකට මුහුණ දුන්නේය.
එක් පැත්තකින් ඔහුට ආණ්ඩු පක්ෂයේ නායකකාරකාදීන් ගෙන් මෙන්ම සහෝදර මැති ඇමැති, මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ අභියෝග හා චෝදනා සුළුපටු නොවීය. අනිත් පැත්තෙන් ඔහු සමග කවදත් වාද විවාදවල පැටලෙමින් ආරවුල් ඇති කරගන්න විපක්ෂයට ද ඔහු ඇඟිලි දිගු කළ බැවින් ඔවුන්ගෙන් ද එල්ලවන්නට වූ අභියෝගය සුළුපටු වූයේ නැත. තවත් පැත්තකින් පාර්ලිමේන්තු වරප‍්‍රසාද විනය ක‍්‍රියාමාර්ග හා නීතිරීති වලින් ද ඔහුට සමාවක් නොවීය. පසුගිය සතිය පුරාම අපි දේශපාලන කරළියේ දුටු ජනප‍්‍රියම දේශපාලන මාතෘකාවක් වූයේ රන්ජන් රාමනායකගේ එකී චෝදනාව හා එම චෝදනාව පසුබිමේ අපේ රටේ ඇතිවූ දේශපාලන ක‍්‍රියාකාරකම් යයි කීවොත් එහි අතිශයෝක්තියක් නොවේ.
මේ අතර අපේ රටේ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන දිගින් දිගටම එල්ල කරන්නට වූ චෝදනා පසුගිය සතියේ යළිත් අලූත් විය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යළිත් වතාවක් පසුගිය සතිය තුළ පාර්ලිමේන්තුවට ගොස් සුපුරුදු ලෙස ව්‍යවස්ථාදායක සභාව හා එහි නායක කාරකාදීන් පතුරු ගසමින් තමන්ගේ සුපුරුදු විවේචනය එල්ල කළේ කතාබහ කරන්නට අපට තවත් රසවත් දේශපාලන මාතෘකාවක් මෙම සතියට ලබාදෙමිනි.... ඒ හැරුණු විට ජාතික ආණ්ඩු කතාව, ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ ගැටුම, රන්ජන්ට එරෙහිව හරීන්ගේ අභියෝගය, ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දය ආදී වශයෙන් වූ අතුරු කතා රැසක් ද අපේ දේශපාලන කරළිය පසුගිය සතියේ උණුසුම්ව තබා ගන්නට පොහොසත් විය.
පොහොට්ටුවට 40% ගන්න බැරිලූ
අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත පුෂ්පකුමාරගේ ආරාධනයක් අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පසුගිය 16 වැනි සෙනසුරාදා වේයන්ගොඩ බලා පිටත්ව ගියේය. ඒ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාව විසින් වේයන්ගොඩ ඉදිකරන ලද නව සතිපොළ විවෘත කිරීම සඳහාය. මෙම සතිපොළ 2015 ට පෙර අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාව විසින් ඉදිකරන්නට පටන් ගැනුණත් 2015 නව ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව එහි කටයුතු අතරමඟ නතර විය. වසර 4කට පසු නැවත එම සති පොළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ නව සභාපති ප‍්‍රියන්ත යළි බලයට පැමිණීමත් සමගය.
සතිපොළේ ඉදිකිරීම් කටයුතු මෙන්ම 16 වැනි දාට නියමිත විවෘත කිරීමේ උත්සවයේ කටයුතු ද පෞද්ගලිකවම සොයා බැලූවේ ප‍්‍රසන්නය. විවෘත කරන දිනට පෙර දින වේයන්ගොඩ ගිය ප‍්‍රසන්න විවෘත කිරීමේ උත්සවයේ කටයුතු සොයා බැලූවේය.
”ප‍්‍රියන්ත මේවා හැදුවේ කවුද කියන එක රටට රහසක් නෙමෙයි. ඒ නිසා මහින්ද මහත්තයාගේ අතින් මේවා විවෘත කරන්න ලැබෙන එක අපිට ආඩම්බරයක්” ප‍්‍රසන්න අත්තනගල්ල සභාපතිවරයාට පැවසීය.
උත්සවයෙන් අනතුරුව මහින්ද ඇතුළු ආරාධිත පිරිසට අසල පිහිටි හෝටලයක දිවා ආහාරය සූදානම් කර තිබුණි. එම ස්ථානයේ ප‍්‍රසන්න, ඩුලිප්, රණවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමග අත්තනගල්ල සභාපති ප‍්‍රියන්ත පුෂ්පකුමාර, දොම්පේ සභාපති මිලාන් ජයතිලක, මිනුවන්ගොඩ සභාපති කුමාර අරංගල්ල, බියගම සභාපති ආනන්ද ගනේපොල ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. සභාපතිවරු මහින්ද රාජපක්ෂව වටකරගෙන කතාබහ කරන්නට පටන් ගත්හ.
”අපි මේ වගේ වෙලාවක සර් ව මුණ ගැහෙනකම් බලාගෙන හිටියේ පුංචි අවනඩුවක් ඉදිරිපත් කරන්න. අපි මේ කියන කාරණාව ගැන ඔබතුමා වරදවා තේරුම් ගන්න එපා. ඒත් අපිට හරි බයක් තියෙනවා සමහරුන්ගේ යම් යම් වැඩ නිසා ඔබතුමාටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන අපේ පක්ෂයටත් දේශපාලනමය වශයෙන් ලොකු හානියක් ඉදිරියේදී වේවි කියලා. කෙටි කාලයකින් විපක්ෂය පටන් අරන් රටේ දේශපාලන කරළියේ ඉහළම තැනට ගේන්න ඔබතුමා නායකත්වය දුන්නා. බැසිල් මැතිතුමා මේක ඉහළම තලයට ගෙන ආවා. තව අපිට අත්පත් කරගන්න තියෙන්නෙ ජයග‍්‍රහණ කිහිපයක් විතරයි... කොටින්ම කියනවා නම් දැන් අපි තමයි ලංකාවේ ඉන්න බලවත්ම දේශපාලන පක්ෂය. එහෙම තියෙද්දි අපිත් එක්ක ඉන්න කවුරු හරි කියනවා නම් අපට තවම තියෙන්නේ මේ රටේ ජනතාවගෙන් ඡන්ද 40% යි කියලා..... අපට ඉදිරි ජයග‍්‍රහණවලට යන්න බෑ කියලා.. ඒ ගැන ලොකු සැකයක් තියනවා....
ගම්පහ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ගණනාවක්ම මෙසේ එකතු වී කියන්නට යන කාරණාව කුමක්දැයි මහින්ද ඒ වන විටත් තරමක් දැන සිටියේය. කියන්නේ කවුරු ගැන ද කියාත් දැන සිටියේය. එහෙත් ඔහු ඒ බැව් නොහැඟුනා සේ ඔවුන්ගේ අදහස් දැක්වීම් ගැන අවධානය යොමු කළේය.
”උදය ගම්මන්පිල මහත්තයා කියනවා පොදුජන පෙරමුණට සීයට 40කට වැඩිය ඡන්ද ගන්න බැහැ කියලා. එහෙම කතා කරන එක වැරැදියි සර්” අරංගල්ල පෙන්වා දුන්නේය.
”ඒක තමයි උදයයි විමලූයි දෙන්නා හැම තැනම කිය කියා යනවා පොදුජන පෙරමුණට දිනන්න බැහැ කියලා. හැබැයි අපි පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා. අපේ ජයග‍්‍රහණයත් හෑල්ලූ වෙනවා මේ නිසා” මිලාන් පැවසීය.
”පොදුජන පෙරමුණට දිනන්න බැහැ කියන කිසිම කෙනෙක් තමන්ගේ පක්ෂයෙන් තනිව තරග කරලා පාර්ලිමේන්තුවට ආපු අය නෙමෙයි. හැමදාම මේ අය පාර්ලිමේන්තු ආවේ කාගේ හරි සන්ධානයකට එකතු වෙලයි. ඒ නිසා තමයි මේ අය දිනන්න බැහැ කියලා හැමතිස්සෙම කියන්නේ” ප‍්‍රියන්ත කීවේය.
”සර් මමත් මේ ගැන අවධානයෙන් හිටියේ. දැන් මෙතැන කතා කරන්න හිතුවේ සභාපතිතුමන්ලා මේ ගැන කතා කරපු නිසයි. කවුරු වුණත් පොදුජන පෙරමුණ පහත් කරලා කතා කරනවා නම් අපි ඒකට විරුද්ධයි. මොකද සර් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සුන්ගේ පක්ෂය තමයි පොදුජන පෙරමුණ කියන්නේ. මේ පක්ෂයේ අයිතිකාරයෝ අපි නෙමෙයි. මේ රටේ සාමාන්‍ය ජනතාවයි. සර්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මේ පක්ෂය කර තියාගෙන ගියේ සාමාන්‍ය මිනිස්සු.
2018 ඔක්තෝබර් 26 වැනි දා සර්ට අගමැති පුටුවේ වාඩි වෙන්න පුළුවන් වාතාවරණයක් හැදුණේ පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ දී ලබපු ජයග‍්‍රහණයත් එක්කයි. ඒ නිසා අපේ පක්ෂයට අපහාස කරන්න දෙන්න බැහැ. අද පොදුජන පෙරමුණට බණින අයම තමයි 2015 අගෝස්තු මහ මැතිවරණය වෙලාවේ තනිව තරග කරනවට විරුද්ධ වුණේ. ඒ අයම තමයි රනිල්ට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය කරේ තියාගෙන ගිහින් අපිව සවුත්තු කළේ. ඒනිසා මේ වෙලාවේ නම් ඒ වගේ අමාරුවක සර්වත් අපේ පක්ෂයවත් පාක්ෂිකයන්වත් දාන්න අපි ඉඩ තියන්නේ නැහැ” ප‍්‍රසන්න දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
”අපි නම් හිතන්නේ පොදුජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයටත් වඩා ඉහළින් ජනාධිපතිවරණයක් වුණත් දිනන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා අපි කිසිම වෙලාවක අපේම පක්ෂය අවතක්සේරුවෙන් හිතන්න හොඳ නැහැ” ඩුලිප් පැවසීය.
සියලූදෙනාගේ කතාබහට සාවධානව කන් දී සිටි මහින්ද සභාපතිවරුන් අස්වැසුවේ ”ප‍්‍රසන්න... ඔයාලා කලබල වෙන්න එපා. තවම මේ ප‍්‍රශ්න තියෙන්නේ සාකච්ඡාමය මට්ටම්වල. කොතනකවත් අවසන් විසඳුමකට අපි ඇවිත් නැහැ. අපි අතරත් විවිධ තර්ක විතර්ක තියෙනවා. සමහරු කියනවා තනියම ගියොත් හොඳයි කියලා. ඒක එක අදහසක්. තව සමහරු කියනවා එකතුවෙලා ඉල්ලන්න ඕන කියලා... අපි ඉදිරියේදී මේවා ගැන හොඳට සාකච්ඡා කරලයි දේශපාලන තීන්දු ගන්නේ. එතකං කලබල වෙන්න එපා. අපි මේ ප‍්‍රශ්න කතා කරලා විසඳගමු” මහින්ද කීවේය.
ජනපති අපේක්ෂකකමට දෙපැත්තේම සීතල යුද්ධ...
විපක්ෂය ඇතුලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය වසර තුන තුළ දිගින් දිගටම කටයුතු කළේ සතුරු දේශපාලන බලවේග දෙකක් ලෙස යැයි කීවොත් එය නිවැරදිය. එහෙත් පසුගිය ඔක්තෝබර් 26 වනදා සිදු වූ ඓතිහාසික සිදුවීමත් සමගම මේ පක්ෂවල අභ්‍යන්තරයේ ලොකු දේශපාලන පරිවර්තනයක් ඇති විය. මෙම බලවේග දෙකෙහි නායකයෝ දේශපාලනමය වශයෙන් එක කඳවුරක සිට කටයුතු කරන්නට යම් එකඟතාවකට පැමිණියහ.
මෙම එකඟතාවය නිසා පක්ෂ දෙකෙහි නායකයින් අතර යම් දේශපාලන සමගි සමාදානයක් ඇති වුවත් ග‍්‍රාමීය වශයෙන් හා පහළ ස්ථරයේ සිටින පාක්ෂිකයින් අතර ලොකු අවබෝධයක් ඇති වූයේ නැත. දෙපැත්තේම යම් යම් ඉහළ ස්ථරයේ දෙවැනි පෙළ නායකයෝ ද මෙම සමගිය භාරගන්නට සූදානම් වූයේ නැත. එකඟතාවයක් ඇතිව සමගි සමාදානයෙන් දෙපිරිස ඉදිරියට යන්න නම් මෙන්න මේ කොන්දේසිවලට එකඟ විය යුතු යැයි දෙපැත්තෙන්ම වියතිරේක වැටෙන්නට වූයේ ඒ අනුවය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් දුමින්ද දිසානායකලා ගෙන ආ කොන්දේසිය වූයේ එකට එකතු වී කටයුතු කරන්නේ නම් නිසැක වශයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෛත‍්‍රිපාල සිරිසේන ම විය යුතු බවකි. ඊට සමගාමීව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නැගුණු තර්කය වූයේ ජනාධිපති අපේක්ෂකයා නිසැක වශයෙන්ම පොහොට්ටු පක්ෂයෙන් පොහොට්ටු ලකුණෙන් එන රාජපක්ෂවරයෙක් ම විය යුතු බවය.
දෙපාර්ශ්වයේ ඇතුළාන්තයේ තත්ත්වය එය වුවත් නායකයෝ මේ ගැන ගැන ගැඹුරින් සාකච්ඡා කර තීන්දුවක් ගන්නට ඉක්මන් වූයේ නැත. පොදු සතුරාට එරෙහිව සටන් කිරීමේදී හැකි තරම් දුරට සමානතාවලට ගරු කරමින් දුර්වලතා සාදා ගන්නට උත්සාහ කරමින් එකඟතාවයන් වැඩි කර ගැනීමට උපක‍්‍රමශීලීව කටයුතු කළ යුතු බව ඔවුන්ගේ මතය වූහ.
එහෙත් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද යන ප‍්‍රශ්නය පිළිබඳ හරි උත්තරයක් ප‍්‍රසිද්ධියේ කියන්නට දෙපාර්ශ්වයම ඉක්මන් වූයේ නැත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන නැවත ඉල්ලන බවට ඉඟි බිඟි යම් යම් ප‍්‍රකාශන මගින් එළියට ආවත් සහතිකවම ඒ පිළිබඳව කිසිදු ප‍්‍රකාශයක් කළේ නැත. එක්තරා අවස්ථාවක අර්ජුන රණතුංග සමග පැවැත්වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අදහසක් වශයෙන් තමන් ඊළඟ ජනාධිපතිවරණයටත් සහභාගි වන්නට සිතා සිටින බව කියා ඇත. තමා පැමිණියහොත් අර්ජුන තමන්ට සහාය දෙන්නට එන්නේ දැයි කියා ජනාධිපතිවරයා අර්ජුනගෙන් ඇසූ බවට තොරතුරු තිබේ. එහෙත් දෙදෙනා ප‍්‍රසිද්ධියේ ඒ බැව් නොකියන්නට වගබලා ගත්තේය.
එසේම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ඒ සඳහා සුදුසුකම් ලත් දේශපාලනඥයින් දෙදෙනකු ප‍්‍රබල ව සිටියත් ඒ දෙදෙනාගෙන් කවුරු ඉස්සර වේද කියා කවුරුත් කීවේ නැත. දෙදෙනාම කීවේ වගකීමක් ලැබුණු මොහොතක එය ඉටු කරන්නට ඇප කැපවී සිටින බව පමණකි. ඒ හැරුණු විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පහළ ස්ථරයේ බහුතරයක් සිටියේ පොහොට්ටු ලකුණෙන් රාජපක්ෂවරයකුට මිස ඡන්දය ඉල්ලන්නට කිසිදු අයෙකුට ඉඩ නොදිය යුතු බවකි.
එහිදී උදය ගම්මන්පිල හා විමල් වීරවංශ මෙන්ම වාසුදේව නානායක්කාර ද සිටියේ විවෘත තැනකය. ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර 50% ට වඩා ඡන්ද ප‍්‍රතිශතයක් ලබා රටේ ජනාධිපතිවරයා වීමට විපක්ෂයේ සිතන්නේ නම් ඒ සඳහා බලවේග දෙකේම ශක්තියෙන් මිස වෙන කෙටි පාරවල් සෙවීමෙන් ලද හැකි උත්තරයක් නැතැයි තිදෙනාම කීහ. මේ නිසා එම අපේක්ෂකයා ගෝඨාභය වුවත් බැසිල් වුවත් මෛත‍්‍රිපාල සිරිසේන ම වුවත් කමක් නැතැයි ඒ තිදෙනා කියන්නට වූහ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පහළ ස්ථරයේ මහජන නියෝජිතයින් විශාල පිරිසක් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සමග විරසක ඇතිකර ගන්නේ එතැන් සිටය....
කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කර ගන්නට ද මෙම පක්ෂවල නායකයෝ කිසිවකු උත්සාහ නොකිරීම ද විශේෂත්වයක් ය. සමහරු කීවේ ජනාධිපතිවරණයක් පැමිණ නැති මොහොතක අනවශ්‍ය ජනාධිපති අපේක්ෂක ප‍්‍රශ්නයක් වෙනුවෙන් ගැටුම් ඇතිකර ගැනීමට තරම් පැහැදිලි හේතුවක් මේ අවස්ථාවේ පැන නොනගින බවකි.
කොකේන් චෝදනාවට රංජන් ආවේ මෙහෙමයි...
රන්ජන් රාමනායක මහාමාර්ග කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා පසුගිය සතිය දෙක ඇතුළත කොකේන් සම්බන්ධ මාතෘකාවට පැමිණෙන්නේ අහම්බෙනි. ඔහු පසුගිය 11 වනදා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දකුණු අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකට සම්බන්ධ වූයේය. එහිදී මාධ්‍යවේදීන් පිරිසක් ඔහුගෙන් ප‍්‍රශ්න කීපයක් ඇසුවේ ඒ වන විටත් අත්අඩංගුවට ගෙන සිටි මාකඳුරේ මධූෂ් හා කලාකරුවන් කීප දෙනා සම්බන්ධයෙනි. එවේලේ ඔහු විවෘතව කරන ලද අදහස් දැක්වීම්වල දේශපාලනඥයන්ට ද චෝදනා කිහිපයක් එල්ල විය. එය මෙම ප‍්‍රශ්නයේ ආරම්භයයි.
ඔහු පෙන්වා දුන්නේ මේ ආණ්ඩුවටත් මීට පෙර පැවති ආණ්ඩුවලටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ ප‍්‍රශ්නය විසඳන්නට නොහැකි ව ඇත්තේ දේශපාලනඥයන් ඒවාට ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ ව සිටින නිසා බවය. මත් කුඩු ලෝලීන්, මත්ද්‍රව්‍ය අනුග‍්‍රහකයින්, මත්ද්‍රව්‍ය ව්‍යාපාර සඳහා පහසුකම් සපයන්නන්, මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් ලෙස දේශපාලනඥයින් සම්බන්ධ වී සිටින බව තමන් දන්නා බව ප‍්‍රකාශ කළේය.
එතැන් පටන් දිගින් දිගටම රංජන්ට බේරුමක් නැති විය. මාධ්‍ය රංජන්ගෙන් ඒ ගැනම අසන්නට පටන් ගත්හ.
ඒ අතර රංජන්ට වචනයක් දෙකක් මාරුවී ගියේය. කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන හා අනුග‍්‍රහය සපයන දේශපාලනඥයින් මේ කැබිනට් මණ්ඩලයේ සිටින බවට ඔහුගෙන් අදහසක් ප‍්‍රකාශ විය....
මෙම ප‍්‍රකාශය නිසා ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝ විශාල වශයෙන් කලබලයට පත් වූහ. ඔවුහු රංජන්ට විවිධ ආකාරයෙන් ප‍්‍රතික‍්‍රියා දක්වන්නට වූහ. ආණ්ඩු පක්ෂය පමණක් නොවේ, විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ද රන්ජන්ට අභියෝග එල්ල කරන්නට වූයේ කොකේන් වැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ සිටී නම් වහාම ඔවුන් හෙළිදරව් කර නීතිය හමුවට විවෘත කරන ලෙස ය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් ද රන්ජන්ට යම් යම් බලපෑම් ඇති විය. ඔහු මෙසේ කලබල වී යම් යම් දේ හෙළිදරව් කිරීම තුළ පක්ෂයේ කීර්තිනාමයට ගෞරවයට සිදුවන බරපතල හානිය ගැන ඒ නායකයෝ රන්ජන්ට අවවාද කරන්න පටන් ගත්හ.
එහෙත් එයින් රන්ජන් නතර වූයේ නැත. ඔහු තව තවත් හෙළිදරව් කිරීම්වලට යමින් ආණ්ඩු පක්ෂය තුළත් විපක්ෂයේත් දෙපැත්තේම කොකේන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අය 24 දෙනෙක් සිටින බවත් ඒ අයගේ නම් තමන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ලබා දෙන බවත් ප‍්‍රකාශ කළේය.
ආචාර්යවරියක් බැසිල්ට යෝජනාවක් ගෙනල්ලා...
ගමත් එක්ක පිළිසඳරක් වැඩසටහන් මාලාව ඉතා සාර්ථකව රටපුරා පැවැත්වෙමින් තිබියදී පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ බෙලිහුල්ඔය බලා පිටත්ව ගියේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග ද එබඳු එක් විද්වත් සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා පසුගිය අඟහරුවාදා බෙලිහුල්ඔය දී සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු පිරිසක් සමග බැසිල් සාකච්ඡාවක් යොදාගෙන තිබිණි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තියන්නෙ වෙනස්ව හිතන්න වෙනස්ව වැඩ කරන්න බය නැති පක්ෂයක්. අපි අලූත් තමයි. ඒත් මේ වනකොටත් අපි රටේ අංක එකට ඇවිල්ලා ජයග‍්‍රහණ රාශියක් අත්පත් කරගෙන ඉවරයි. දැන් අපි ඕනෑම මැතිවරණයක් සඳහා තරග වදින්න සූදානම්. අපි ඒක කරන්නේ අලූත් ප‍්‍රවේශයකින් අලූත් විදියට... ඒකයි මට තමුන්නාන්සේලාගේ අදහස් වුවමනා....
එසේ කියමින් බැසිල් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අලූත් යෝජනා ඉදිරිපත් කරමින් කතාබහ කරන්නට ඉඩ දුන්නේය.
”අපි දන්නවා ඔබතුමා අනිත් අයගේ කතාවලට හොඳින් ඇහුම්කන් දෙන බව. මට මතකයි වරක් ඔබතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නයක් විසඳන්න මැදිහත් වෙලා අපේ ප‍්‍රශ්නවලට ඇහුම් කන් දුන්න විදිය... ආචාර්යවරයෙක් කීවේය.
”මම අද වැඩිය කතා කරන්නේ නෑ... ඕගොල්ලො කතා කරන දේවල් අහගෙන ඉන්නවා... ඒ අනුව අපි අපේ වැඩපිළිවෙළ අලූත් කරගනිමින් ඉදිරියට ගෙනි යනවා.... බැසිල් කීවේය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් බහුතරයක් සහ විශ්වවිද්‍යාලයේ ඉහළ පරිපාලන නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගි වී සිටියහ. ඔවුන් ඉතාමත්ම වටිනා අදහස් රාශියක් එකතු කළ අතර එහි සිටි නිරෝෂා පරණවිතාන නම් එක් ආචාර්යවරියක් ඉදිරිපත් කරන ලද අදහසට බැසිල්ගේ විශේෂ අවධානය යොමු විය....
”අපේ රටේ එක එක විදියේ විශ්වවිද්‍යාල ගණනාවක්ම තියෙනවා... මම යෝජනා කරනවා ඒ අතර අපේ රටටත් ජාත්‍යන්තර සාම විශ්වවිද්‍යාලයක් නිර්මාණය කරන්න කියලා.... අර මොකද අපේ රටේ අය ගැටුම් කළමනාකරණය පිළිබඳව නම් හුඟාක් දුරට ඉගෙන ගන්නවා. ඒ හා සාපේක්ෂව බලන විට අපේ රටේ සාමය සඳහා තිබෙන හැදෑරීම් ඉතාම අඩුයි.
ඇයගේ යෝජනාවට බැසිල් රාජපක්ෂගේ ප‍්‍රසාදය ද හිමිවිය. එම කාරණාව සාකච්ඡාවට බඳුන් විය.
”ඔව් අපට පුළුවන් අපේ ඊළඟ ආණ්ඩුවේ දී ඒ ගැන උනන්දු වෙලා කටයුතු කරන්න.... බැසිල් කීවේය.
”ඇත්තම කියනවා නම් ලෝකයේ සාම විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න හොඳම තැන තමයි ශ‍්‍රී ලංකාව.... ආචාර්යවරිය තවදුරටත් හේතු පහදමින් තම යෝජනාව පිළිබඳ පැහැදිලි කරන්නට වූවාය.
කථානායක ජයසූරියට රන්ජන්ගෙන් ආ ඇමතුම...
පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් 24 දෙනෙකු ම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා මත්ද්‍රව්‍ය පරිභෝජනයට සම්බන්ධ බව කියමින් රන්ජන් රාමනායක කරන ලද හෙළිදරව්ව තුළ ඔහුට බලවත් විරෝධයක් පැන නැගුනේ ය. රන්ජන් කීවේ දැනටමත් එසේ මත්ද්‍රව්‍ය සමග සබඳතා ඇති මන්ත‍්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව තමන් විසින් කථානායකවරයා වෙත භාර දී ඇති බවකි. මේ නිසා ආණ්ඩුවේ ම දේශපාලනඥයෝ ඔහුට දැඩි ලෙස පහර ගහන්නට පටන් ගත්හ. ඒ අවස්ථාවේදී විපක්ෂයේ දේශපාලනඥයෝ රන්ජන් වෙනුවෙන් කතා කරන්නට ද උත්සාහ කරන ආකාරයක් පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ දැකගන්නට ලැබිණි. පාර්ලිමේන්තුවේ එකී මන්ත‍්‍රීවරුන්ගේ නම් ප‍්‍රසිද්ධ කර ඔවුන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ දැයි රුධිර සාම්පල පරීක්ෂණයක් පවා පවත්වන්නට සමහර මන්ත‍්‍රීවරු යෝජනා කළහ. තවත් සමහර අය කියන්නට වූයේ තමන්ගේ නොව, අවශ්‍ය වන්නේ වහාම රන්ජන්ගේ ලේ සාම්පල පරීක්ෂා කර බලා එච් අයි වී ආසාදනයක් ඇත්දැයි පරීක්ෂා කළ යුතු බවය.
එහෙත් කථානායකවරයාගේ පැත්තෙන් කියැවුණු කාරණාව වූයේ රන්ජන් රාමනායක තමන් වෙත තවමත් එබඳු නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර නොමැති බවකි. එසේ ලදහොත් ඒවා වෙනුවෙන් ක‍්‍රියා කරන්නට තමන් සූදානම් බව කථානායකවරයා කීවේය.
රන්ජන් ලැයිස්තුවක් කථානායකවරයාට දුන් බවත් කථානායකවරයා එසේ ලැයිස්තුවක් තමන් වෙත ලැබී නැති බවත් ප‍්‍රකාශ කිරීමත් තුළ තව ලොකු ප‍්‍රශ්නයක් මතුවිය. මාධ්‍යවේදීන් ඒ ගැන ද රන්ජන්ගෙන් විමසන්නට අමතක කළේ නැත...
ඇත්තම කියනව නම් ඒ නම් ලැයිස්තුව මම දුන්නේ ලිඛිත සටහනක් ලෙස නෙවෙයි... නමුත් මම කථානායකතුමාට දුරකථන ඇමතුමක් ගත්තා. එතුමාට මම මේ කාරණාව කිව්වා. එතුමා එක සාවධානව අහගෙන හිටියා. මම නම් ලැයිස්තුවත් දුන්නා. එකේ වැඩිපුරම තියෙන්නේ අපේ ආණ්ඩුවේ අයගෙ නම් නෙවෙයි. විපක්ෂයේ අයගේ නම්. සමහර ඒවා අද ඊයේ එළිදරව් වෙච්චි ඒවා නෙවෙයි. ඒව ගැන උසාවියෙන් කතාබහ වෙනවා. නඩු තියෙනවා. දිගම්බරම් ඇමැතිතුමාට විරුද්ධව පැමිණිල්ලක් දාලා තිබුණා. එතුමා එක්වරක් ගුවන් යානයක යන ගමන් ගුවන් සේවිකාවකට කළ මදි පුංචිකම, බොරැල්ලේ පොලිසියට ගිහින් එහි කාර්යභාර නිලධාරියාගේ පුටුවේ වාඩි වී කරන ලද බලය අය අයුතු ලෙස යොදා ගැනීම පෙන්නා දීලා එයා එහෙම කරලා තියෙන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා බවත් ඔහු ඒ සම්බන්ධ ව්‍යාපාරවලට සම්බන්ධ බවත් නඩුවක් ගොනු කරලා තියෙන්නෙ දිගම්බරම්. ඒ නඩුව අදටත් අහනවා. ඊළඟට දිගම්බරන් චෝදනාවක් තිබුණා එස්. බී. දිසානායක ඇමැතිතුමා කියන. පාර්සල් හදලා කුඩු ගෙනිහින් වතුකරයේ බෙදන්නේ දිගම්බරම් කියලා මම නෙවෙයි චෝදනා කරන්නේ... එස්.බී. තමයි එහෙම කියලා තියෙන්නේ... ඉතින් ඒ ගොල්ල කැබිනට් ඇමැතිවරු. සමහරු අදටත් කැබිනට් එකේ ඉන්නවා. මම කැබිනට් ඇමැතිවරු කිව්වේ එකයි.
මම මේ පැමිණිල්ල කථානායකතුමාට ඉදිරිපත් කරනකොට ඒක ලිඛිතව භාරගන්න එතුමා එතරම් සතුටු වුණේ නැහැ. එතුමා මට ඉතා වැදගත් වෙනත් කාරණයක් පෙන්නලා දුන්නා... මම ඒකට ගරු කරනවා.
එහිදී මට උපදෙස් ලැබුණා තරමක් කූල් ඩවුන් වෙලා ඉන්න... ලබන අගෝස්තු වෙනකොට ලංකාවට හියුමන් රයිට් කොමිෂන් එක එනවා. එහි මොඩලය විදිහට නම් කරල තියෙන්නෙ පාර්ලිමේන්තුව. ඒ වගේ අවස්ථාවක් ඉදිරියේ තිබියදී මේ වගේ චෝදනාවක් ලිඛිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබීම තුළ ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩුවට ඇමැතිවරුන්ට මන්ත‍්‍රීවරුන්ට ලොකු අවනම්බුවක් සිද්ධ වෙනවා....
ඒක නිසා මට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ඉහළින් උපදෙස් ලැබුණා... ඒ අනුවයි මම ලිඛිතව මේ නම් ලැයිස්තුව භාර නොදුන්නේ.... එතුමා ඒක ලිඛිතව ලැබිලා නෑ කියන්නේත් එකයි...
උඩ බලාගෙන කෙළ ගහන වැඩ කරන්න එපා කියලයි සමහර ඉහළ අය මට උපදෙස් දුන්නේ....
රන්ජන් මෙම කතාවේ ඉතා වැදගත් කොටසක් මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේ එසේය....
දුරකථනයෙන් වත් නම් තමන් වෙත ලබා දුන් බවට කිසිදු සඳහනක් කථානායකවරයා කර නැතැයි මාධ්‍යවේදීන් විමසද්දී රන්ජන් ඊට උත්තර දුන්නේ වෙනත් සාක්ෂියක් ද සඳහන් කරමිනි...
කථානායකතුමා දිවයින පත්තරේ අජිත් අලහකෝන් ට කියලා තියෙනවා... ඔව් රන්ජන් මට දුරකථනයෙන් කතා කරලා ඒ නම් ටික කිව්වා.... එහෙම කිව්වා කියලා අජිත් අලහකෝන් දිවයින පත්තරේ මුල් පිටුවේ ලියලා තියෙනවා....ඒ සටහන් හොඳටම ඇති මම ඒ නම් ටික කථානායකතුමාට දුන්නා කියන කාරණාව පිළිගන්න .
එතුමා මට කිව්වා.... ඒ ගැන පරීක්ෂණ කරන්න පාර්ලිමේන්තුවට බෑ... ඔයා ඔය නම් ටික සී අයි ඞී එකට දෙන්න කියලා.... ඉතින් මම ඒ නම් ටික සී අයි ඞී එකට දුන්නා.
ඡන්දෙ තියන හැටි ගැන මහින්ද ආණ්ඩුවට කියයි
කොළඹ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයෝ මසකට පමණ වරක් නෙළුම් මාවත කාර්යාලයේ දී හමු වී දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරති. පසුගිය 20 වැනි දා ද ඔවුන් නෙළුම් මාවතට එක්ව සිටියේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ය. සමන්ලාල් ප‍්‍රනාන්දු, අරුණ ප‍්‍රියශාන්ත, කාන්ති කොඩිකාර ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක් ව සිටියහ.
විමල් සහ ගම්මන්පිල විසින් පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් කර ඇති ප‍්‍රකාශ ගැන කොළඹ දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිතයන් සිටියේ දැඩි කෝපයෙනි. පොදුජන පෙරමුණට ජයග‍්‍රහණය කළ නොහැකි බවට කර ඇති ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙහිදී දැඩි විරෝධයක් මතු විය. පක්ෂයට බණින අයට ඊළඟ වතාවේ මහ මැතිවරණයකට තරග කරන්නට වන්නේ ද පොහොට්ටුවෙන් බවත් පොහොට්ටු සාමාජිකයන්ගේ ඡන්දය ඉල්ලා තම කොට්ඨාසවලට එන්නට ඔවුන්ට සිදුවනු ඇති බවත් පළාත් පාලන නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
පාර්ලිමේන්තුවේ සභා කටයුතු පිළිබඳ කාරක සභාව කථානායකවරයාගේ නිල කාමරයේ දී පසුගිය 20 වැනි දා රැස්විය. එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනුණේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙනි. මහින්ද විපක්ෂ නායකවරයා ලෙස පැහැදිලිව කියා සිටියේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම ආණ්ඩුවේ වගකීම බවය.
”පළාත් සභා මැතිවරණය මොන විදියට තිබ්බත් අපි ඒකට ලැහැස්තියි. ජනතාවත් දැන් ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණයයි. නමුත් ආණ්ඩුව විවිධ හේතු කියමින් මැතිවරණය කල්දමමින් ඉන්නවා. අලූත් ක‍්‍රමයට පවත්වනවා නම් වඩා හොඳයි. නමුත් අලූත් ක‍්‍රමයට නොහැකි නම් පරණ ක‍්‍රමයට වුණත් කමක් නැහැ. කොහොම හරි මැතිවරණය තියන්න ඕනේ” මහින්ද අවධාරණය කළේය.
”මැතිවරණය පවත්වනවා නම් පවත්වන්න ඕනේ අලූත් ක‍්‍රමයට. පැරැණි ක‍්‍රමය දැන් ප‍්‍රතික්ෂේප කරපු එකක්” රාජිත පැවසීය.
”අලූත් ක‍්‍රමයට මැතිවරණය පවත්වන්න උපරිම උත්සාහ ගත යුතුයි” මනෝ ගනේෂන් පැවසීය.
මේ ආකාරයට සාකච්ඡාව දිගින් දිගටම යන විට මහින්ද කීවේ ”අලූත් ක‍්‍රමය ද, පරණ ක‍්‍රමය ද කියන එක නෙමෙයි වැදගත්. මොන ක‍්‍රමයට හරි මැතිවරණය තියන එකයි. ජනතාව දැන් මැතිවරණයක් ඉල්ලනවා. ඒ නිසා සියලූ පක්ෂ මේකට එකඟ නම් පළාත් සභා මැතිවරණය තියන එක ආණ්ඩුවේ වගකීම” කියාය.
ඒ අනුව එහිදී තීන්දු කෙරුණේ මීළඟ සාකච්ඡාවට නීතිපතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස් ගැනීමටය.
පසුගිය 20 වෙනිදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිස නෙළුම් මාවතේ කාර්යාලයට රැස්වී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කරුණක් ගැන සාකච්ඡා කරන්නට පටන් ගත්හ. එහිදී රන්ජන් රාමනායකගේ ක‍්‍රියාකලාපය ගැනද ඔවුහු විශේෂයෙන් කතා බහ කළහ.
”රන්ජන් හැම තිස්සේම උත්සාහ කරන්නේ වීරයෙක් වෙන්නයි. හැබැයි හැමදාම රන්ජන් කළේ ඇන ගන්න එක. උසාවියට බැණලා දැන් නඩුවකුත් යනවා. මේකත් ඒකට දෙවෙනි නැහැ” ප‍්‍රසන්න පැවසීය.
”පාර්ලිමේන්තුවේ කුඩු ගහන අය ඉන්නවා නම් රන්ජන්ට කරන්න තියෙන්නේ ඒ අයගේ නම් හෙළිදරව් කරන එක. එහෙම නැතුව මේ වගේ බොරු චෝදනා කළාම වෙන්නේ හැම මන්ත‍්‍රීවරයෙක්ම අපහසුතාවට පත් වෙන එකයි” පවිත‍්‍රා පැවසුවාය.
”රන්ජන් කිව්වේ කුඩු ගහන ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා කියලනේ. දැන් ඇමැති මණ්ඩලයේ ඉන්න අය ලේ පරීක්ෂාවට ගිහින් ඔප්පු කරන්න ඕනේ අපි කුඩු ගහන්නේ නැහැ කියලා. එහෙම නොවුණොත් හැම ඇමැති කෙනෙක්ම කුඩුකාරයෙක් වගේ තමයි මිනිස්සුන්ට පේන්නේ” ෂෙහාන් පැවසීය.
”රන්ජන් දැන් බය වෙලා ඉන්නේ. අධිකරණයට අපහාස කරපු එකට එයාට දඬුවම් හම්බ වෙනවා කියලා දන්නවා. දැන් බලන්නේ මේ වගේ බොරු කතා කියලා ජනතාවගේ අනුකම්පාව දිනා ගන්නයි” රෝහිත පැවසීය.
”රන්ජන්ට විරුද්ධව දැන් ඇමැති මණ්ඩලයේ අයත් අවි අමෝරාගෙන කියලා ආරංචියි. මම දැක්කා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී රන්ජන් හිටියා නම් හොම්බ තලනවා කියලා හරීන් කිව්වා කියලා. දැන් රන්ජන් පාර්ලිමේන්තු එන්නෙත් නැතුව හැංගිලාලූ” ප‍්‍රසන්න හෙළි කළේය.
”ඊයේ පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ඇමැති කෙනෙකුයි නියෝජ්‍ය ඇමැති කෙනෙකුයි රන්ජන්ට මා එක්ක පලූ යන්න බැන්නා. ඒ අය කිව්වේ බොරු ගණන් කිය කියා ඉන්නේ නැතුව නම් ටික ප‍්‍රසිද්ධ කරන්න කියලයි. මේවා නිසා ගම්වලට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා කියලා ඒ ඇමැතිවරයා කිව්වා. දැන් ඇමැති මණ්ඩලයේ ගොඩක් අය රන්ජන්ව අතට අහුවෙනකම් තමයි ඉන්නේ” පියල් පැවසීය.
මන්ත‍්‍රී තනතුරකට උදය - බැසිල් වාදයක්...
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ තවත් හමුවක් විපක්ෂ නායක මහින්දගේ ප‍්‍රධානත්වයෙන් විජේරාම මාවතේ නිල නිවසේදී පැවැත්විණි. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් පැමිණ සිටි අතර පක්ෂ නායකයෝ සියලූම දෙනා පාහේ පැමිණ සිටීම විශේෂත්වයකි. මේ සඳහා බැසිල් රාජපක්ෂ ද පැමිණ සිටීම විශේෂත්වයක් විය. මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. ආණ්ඩු විරෝධී සටන තීව‍්‍ර කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අතර උදය ගම්මන්පිල කතා කළේය...
”බොරලැස්ගමුව නගර සභාවේ මන්ත‍්‍රීවරයෙක් මිය ගියා. අපි ඒ පුරප්පාඩුවට කවුද පත් කරන්නේ කියන එක ගැන කතා කරන්න ඕනේ” උදය කතාව වෙනතකට යොමු කළේය.
”අපි මුලින් එකඟතාවකට ආවා පක්ෂයක මන්ත‍්‍රීවරයෙක් නැති වුණොත් ඒ පක්ෂයටම පුරප්පාඩුව පුරවන්න ඉඩ දෙනවා කියලා. බොරලැස්ගමුවේ නැති වෙලා තියෙන්නේ පොහොට්ටුවේ මන්ත‍්‍රී කෙනෙක්. ඒ නිසා පුරප්පාඩුව පුරවන්න පොහොට්ටුවට භාර දෙමු” බැසිල් පැවසීය.
බැසිල් කෙසේ කීවත් උදය එම මන්ත‍්‍රීවරයා තම පක්ෂයට ලබාගැනීමේ උත්සාහය අත්හැරියේ නැත. ඒ සඳහා ඔහු කරුණු රාශියක් ඉදිරිපත් කළේය. පසුගිය මහ ඡන්දයේදී කොළඹ දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ප‍්‍රමාණයෙන් දෙවැනියා වූයේ තමන් බව ඔහු කරුණු හැටියට ඉදිරිපත් කළේය. එසේ කියමින් ඔහු පෙන්වා දුන්නේ තම පක්ෂය නියෝජනය කිරීම සඳහා පළාත් පාලන ආයතනවලින් ලැබුණ නියෝජිතයන් ප‍්‍රමාණය අඩු බැවින් මෙම අවස්ථාව තම පක්ෂයට ලබා දීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ යුතුකමක් බව ය.
මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ එතරම් මැදිහත් වූයේ නැතත් උදය මහ ඡන්දයෙන් දෙවැනියට මනාප ලබාගත් බව කියන විට හිස් ඔසවා අනිත් අය දෙස බලද්දි ඔවුන් ද මුහුණට මුහුණ බලා ගත්තා ඊට උත්තර දෙන්නට ගියේ නැත....
”අපි මේ ගැන පක්ෂ නායකයන් විදියට තීන්දුවක් ගමු”
ගම්මන්පිල කීවේය.
”මුලින් එකඟතාවයකට ඇවිත් තියෙනවානේ. ඒ අනුව වැඩ කරමු. එහෙම නැතුව පක්ෂ නායක රැස්වීම්වල මේවා කතා කරන්න ඕනේ නැහැ” බැසිල් පැවසීය.
‘‘ඔය මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රශ්නය උදය මෙතන කතා කරලා ඉවරයක් කරගත්ත එක ගැන මම සතුටුයි... එහෙම නැතුව කතා කරන්න ඕන තැන්වල කතා නොකර එළියෙ තැන් තැන්වල කතා කරන පුරුද්දට මම කැමති නැහැ. ඒක මෙතනම ඉවරයක් කරගෙන ප‍්‍රශ්න තියෙනවා නම් ඉවර කර ගමු.... මහින්ද කීවේය.
මේ අතර වාසු ප‍්‍රශ්නයක් ඇසීය...
”අපි අර ඇති කරගන්න හදන පුළුල් සන්ධානයේ අලූත් තත්ත්වය මොකක්ද... දැන් ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒකේ ප‍්‍රගතිය මොනවගේද කියලා අපි දැනගන්න කැමතියි....”
”කෝ මේ ඩලස්... අදත් පේන්න නැහැ... එයා තමයි ඒක භාරව කටයුතු කරන්නේ.... එයා තමයි ඒ ගැන දන්නේ උත්තර දෙන්න... මහින්ද කීවේය.
මේ සතියෙත් ඩලස් පේන්න නෑ.... ගිය පාරත් අපි අහන කොට එදත් ඩලස් හිටියේ නෑ.... වෙන කවුරුවත් ඒ ගැන කතා කරන්නෙත් නෑ... ඒ කියන්නෙ මේක කවදාවත් කෙරෙන්නෙ නැති පුළුල් සන්ධානයක් ද කියලා මට හිතෙනවා.... වාසු ඇද පැද තමන්ට සුපුරුදු විලාසයෙන් නොකමැත්ත ප‍්‍රකාශ කරමින් එසේ කීවත් කවුරුවත් ඊට උත්තර දෙන්නට ගියේ නැත....
සාකච්ඡාව ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් කතාබහට යොමු කළේ මහින්දානන්දය. ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ගම්මන්පිල විසින් කරන ලද යෝජනාවක් අනුව බ‍්‍රහස්පතින්දා විවාදයක් පැවැත්වීමට නියමිතව තිබුණි. මහින්ද සියලූ මන්ත‍්‍රීවරුන්ට කීවේ විවාදය අවස්ථාවේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවය.
රාජපක්ෂවරියකගෙන් සජිත්ට රස රහසක්...
සජිත් පේ‍්‍රමදාස පසුගිය සතියේ ගාල්ලට ගියේ 163 වෙනි උදාගම විවෘත කරන්නට ය. ගාල්ලේ පිටිගල නියාගම ශ‍්‍රීමත් ලලිත රාජපක්ෂගම ලෙස මෙම අලූත් උදාගම නම් කර තිබිණි.
ලලිත රාජපක්ෂ යනු ඞී. එස්. සේනානායක ආණ්ඩුවෙත් ඩඞ්ලි සේනානායක ආණ්ඩුවෙත් සෙනෙට් සභික මන්ත‍්‍රීවරයෙකි. එසේම ඒ ආණ්ඩු දෙකේම අධිකරණ අමාත්‍යවරයා ලෙස සේවය කළ සමාජ සේවකයෙකි. ඔහු එකල කරන ලද සමාජ සේවය සිහිවනු වස් මෙම ගම්මානයට ලලිත රාජපක්ෂ ගම යනුවෙන් නම තැබූ බව සජිත් මතක් කළේ ගෙයින් ගෙට යන ගමනේදී මෙම නම පිළිබඳව ගයන්ත ඇමැති ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
උත්සව සභාව සඳහා සජිත්ගේ ආරාධනයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගයන්ත, බන්දුලාල්, පියසේන ගමගේ, මනුෂ, විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් පැමිණ සිටියහ. ඒ අතර සජිත්ගේ ආරාධනය අනුව පැමිණි කාන්තාවක් ද සිටියාය.... ඇය ලලිත රාජපක්ෂ මැතිතුමන්ගේ දියණිය වන රමණී රාජපක්ෂ බව බොහෝ දෙනෙකු දැනගත්තේ සජිත්ගේ හඳුන්වාදීම අනුවය.
මෙම ගම්මානයේ ජල ප‍්‍රශ්නය විසඳීම සඳහා රුපියල් ලක්ෂ 10 ක පරිත්‍යාගයක් රමණි රාජපක්ෂ මැතිනිය විසින් කර ඇති බව සජිත් කියනු ලැබුවේ ජනතාව අමතා කරනු ලැබූ කතාවේදීය.
තවත් රහසක් තියෙනවා කියන්න.... ඇය සජිත්ගේ කනට කර කීවේය.
ඒ මොකක්ද... සුබවාදී එකක්ද... සජිත් ඇසීය...
සුබවාදී එකක්... ඇය උත්තර දුන්නාය.
උත්තරයෙන් සජිත් පුදුමයටත් සතුටටත් පත් විය.... ඔහු සිය කතාවේදී ඇයි කී ඒ රහස හෙළිදරව් කළේය.... තවත් ගාල්ල දිස්ත‍්‍රික්කයේ උදාගම් කීපයක් සඳහා ලක්ෂ 10 බැගින් පරිත්‍යාග කිරීමට ඇය කැමැත්ත පළ කළ බව සජිත් කීවේ ජනතාවගේ ඔල්වරසන් හඬ මැදය.
බ‍්‍රහස්පතින්දා හවස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියේය. එහිදී ඔහු ව්‍යවස්ථාදායක සභාව දැඩි විවේචනයට ලක් කරමින් විශේෂ කතාවක් කළේය. ජනාධිපතිවරයා මීට පර වතාවකුත් ව්‍යවස්ථාදායක සභාවේ ක‍්‍රියාකලාපය පිළිබඳ තම නොසතුටු පළ කරමින් දැඩි විවේචනයක් එල්ල කර තිබිණි. කථානායක කරු ජයසූරිය උත්තරයක් ද දුන්නේය. මෙවර ජනාධිපතිවරයා කරන ලද කතාවේ ඊට ද උත්තර අඩංගු විය.
මේ අතර ව්‍යවස්ථාදායක සභාවේ ක‍්‍රියාකලාපය විවේචනය කරමින් උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ කරන ලද කතාව ද කරුණු සහිත පිරුණු කතාවක් විය. එය ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය හා ක‍්‍රියාකලාපය පිළිබඳව දැඩි හැදෑරීමකින් පසුව මෙම කතාව සැලසුම් කර ඇති බව හැමෝටම ඒත්තු ගියේ මුල් පටන් අග දක්වා එම කතාව කරුණු කාරණාවලින් හා සාධකවලින් සාරවත්ව තිබුණු කතාවක් නිසාය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ විවේචනය සහ එහි අඩංගු කරුණු සාධක සහිතව ඔප්පු කරමින් උදය කරන ලද කතාව කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. 2015 පටන්ම මේ දක්වාම ජනාධිපතිවරයා යම් යම් පත් කිරීම්වලට නම් ඉදිරිපත් කරද්දි ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළ ආකාරය හා එම යෝජනා ප‍්‍රතික්ෂේප කළ ආකාරය හේතු සාධක සහිතව උදය සිය කතාවේ දක්වා තිබිණි. එහෙත් ව්‍යවස්ථාදායක සභාවක් එවන් අවස්ථාවකදී කටයුතු කළ යුතු අන්දම හා ස්වාධීනත්වය ආරක්ෂා කළයුතු අන්දම ද උදය විවේචනාත්මකව ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
රන්ජන්ට රනිල්ගෙන් බ්‍රේක් පෑඞ් යෝජනාවක්...
බ‍්‍රහස්පතින්දා අගමැති රනිල් අරලියගහ මැදුරට පැමිණියේ මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රය තවත් විධිමත් කිරීම සඳහා වූ විශේෂ උත්සවයකට එක්වීමටය. අධ්‍යාපනයේ නූතන විප්ලවය එනම් සෑම දරුවකුටම වසර 13ක අධ්‍යාපනයක් සහතික කිරීම එහි අරමුණ විය. එය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම ලෙස ද නම්කොට තිබිණ. එම උත්සවයට යෑමට පෙර අගමැතිවරයා අරලියගහ මැදුරට තමා හමුවීමට පැමිණ සිටි මැති ඇමැතිවරු හා නිලධාරීන් සමගද කතාබහකට එක්විය.
”පළාත් සභා ඕන කියලා පොහොට්ටුව දඟලන දැඟලිල්ලට දැන් ජනාධිපතිත් එකතුවෙලා වගෙයි පේන්නෙ. ඒත් පළාත් සභා ඡන්ද කලින් ආවොත් පොහොට්ටුව ශ‍්‍රීලනිපය හලලා තනියම තරග කරන්න තීන්දු කිරීමේ අවදානමක් තියෙන නිසා ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතනවල සියලූ මන්ත‍්‍රීවරු ජනපතිට බලකරාලූ පළාත් සභා ඡන්ද කලින් තියන්න එපා කියලා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුලපිරීය.
”පළාත් පාලන වගේම පළාත් සභා ඡන්දත් කල්ගියේ ශ‍්‍රීලනිපයේ වුවමනාවටයි. පළාත් සභා ඡන්ද කලින් ආවොත් ශ‍්‍රීලනිපයේ අද ඉන්න පළාත් සභා මන්ත‍්‍රීවරු 90% ක් විතර පොහොට්ටුවට යාවි. ශ‍්‍රීලනිපයට අපේක්ෂකයෝ හොයාගන්නත් දැල් දාන්න වේවි” අගමැතිවරයා කීවේ කාගේත් සිනා මැදය.
”කැබිනට් එකේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නව කියල රන්ජන් ඇමැතිතුමා කියන මේ කතාව මොකක්ද?” චමින්ද විජේසිරි විමසුවේ අගමැතිගෙනි.
”මම දන්නෑ. කියපු එක්කෙනාගෙන්ම අහගන්න” යයි කී අගමැතිවරයා ඉවත බලාගත්තේය.
”මෙතන නොපෙනෙන කතාවක් තියනවා. මධූෂ් ඇල්ලූවාම දකුණේ දේශපාලන පිය පුතු දෙපලක් දිහාට ඇඟිල්ල දික්වෙන්න ගත්තා. ඒ දේශපාලකයන්ගෙ බලපෑම මත එක්තරා පත්තරේක ප‍්‍රධානියෙක් රංජන්ගේ මත්ද්‍රව්‍ය කතාව උඩට අරන් අර දේශපාලන පිය පුතුන්ගෙ මධූෂ්ට අදාළ චෝදනා යටපත් කරන ක‍්‍රියාන්විතයක් යන බවට තොරතුරු තියනවා. බොහෝ පත්තර හා ජනමාධ්‍යවලට බලපෑම් කරලා රංජන්ගේ සිද්ධිය ඉස්මතු කරන්නත් මේ කට්ටිය ක‍්‍රියාත්මක වෙලාලූ” එජාප නීති නිලධාරියෙක් විස්තර කළේය.
”ඇමැති කෙනෙක් කටට එන පලියට විකාර කියවන්න නරකයි. ඔය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගෙ නම් ලැයිස්තුවක් රංජන් මට කියලා නෑ. කථානායකට හෝ සීඅයිඞී එකට කියලත් නෑ. මේ ගැන කතා කරපු එජාප කණ්ඩායම් රැස්වීමට එයා ආවෙත් නෑ. විපක්ෂයත් මට පැමිණිලි කළා කරුණාකරල මේ බොරු චෝදනාවෙන් පාර්ලිමේන්තුවේ 225 බේරල දෙන්න කියලා. රංජන්ගෙ කටට අලූත් බ්‍රේක් පෑඞ් හයි කරන්න කියලත් එයාල මට කිව්වා.” අගමැතිවරයා කීවේ සිය ආවේගය යටපත් කරමින් මද සිනහවක් ද පාමිනි.
”ආ.. චමින්ද, ඔයා මොකද පොලිසියට ගහන්නෙ? එහෙම අයිතියක් ඔයාට නෑ.” අගමැතිවරයා කීවේ චමින්ද විජේසිරිටය.
”නෑ සර්. මමවත් මාත් එක්ක හිටපු කිසි කෙනෙක් කාටවත් ගැහුවෙ නෑ. යහපාලනය පොලිසියට බලපෑම් කරන්නෙ නැති එකේ නීතිය හා සාමය දැන් ජනාධිපතිතුමා අරන් නිසා මහින්දගෙ නඩය පොලිසියට බලපෑම් කරලා මාර ගේම් එකක් ගහනවා. ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕනෑ. පොලිස් කියල ගහපු නැති වාහනයක ආපු සිවිල් කට්ටියක් මම ගියපු වාහනේට වෙට්ටු දාලා රෝන් සයිඞ් එකෙන් හප්පගෙන යන්න හැදුවා. අපි ඒක ප‍්‍රශ්න කරා. පොලිසියෙන් කියල කිව්වාම මම අයිඩෙන්ටි කාඞ්වත් ඉල්ලූවෙ නෑ. ඒත් ජනාධිපතිතුමාගෙ පොලිසියේ සමහරු දැන් ජනමාධ්‍යත් එක්ක එකතුවෙලා මේ වගේ සිද්ධි නිර්මාණය කරලා ආණ්ඩුවට ගහන තත්ත්වයක් තියෙන්නේ” චමින්ද විජේසිරි අගමැතිවරයා ඇතුළු පිරිසට පැහැදිලි කළේය.
”මේ ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ, බැංකුත් කඩාවැටිල කියල ජනාධිපතිතුමා ප‍්‍රසිද්ධියේ කියන එක ඉතා පුදුමයි. සත්‍ය තත්ත්වය ඒක නෙවෙයි කියල ආණ්ඩුව උත්තර දුන්නා මදියි” හේෂා විතානගේ කීවේ එවැන්නකි.
”රටේ නායකයා විපක්ෂ නායකයාවත් නොකියන කතා කීම ගැන මිනිස්සුත් පුදුම වෙනවා. ජනාධිපතිතුමාගෙ ඒ නිවැරදි නොවූ ප‍්‍රකාශයට පොල්ගෙඩි අකුරෙන් ප‍්‍රසිද්ධිය දීපු ජනමාධ්‍ය ඒකට උත්තර දීපු සුජීව සේනසිංහගේ පැහැදිලි කිරීම කුඩා ප‍්‍රවෘත්තියක් විදියට හංගලයි ගැහුවෙ” දයා ගමගේ කීවේය.
”දැන් මේ කිරිපිටි ගැන තියන ප‍්‍රශ්නයට දොස්තර සංගමයත් බැහැලා. ඔක්තෝබර් 26 පත්වූ හොර ආණ්ඩුව අද තිබුණා නම් එයාල මෙහෙම කතා කරාවිද. ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැති වෙලා ඉන්න කාලෙ කිරිපිටිවල ඔය ප‍්‍රශ්නෙ තිබුණෙ නැද්ද දන්නෑ. ලංකාවෙ දියර කිරි හදන්නෙ 10% යි. අනිත් ඒවා නවසීලන්තයෙන් ගෙන්නන්නෙ. ලෝකෙ වෙන කිසිම රටකට ඒ කිරිපිටි ගැන ඇති නොවෙච්ච ප‍්‍රශ්නයක් ලංකාවෙ විපක්ෂයේ දේශපාලකයන්ට ඇතිවීම පුදුමයි. අපේ එක්කෙනෙකුත් රැල්ලට ගිහින් ඒකට උඩගෙඩි දීමෙන් ප‍්‍රශ්නය තවත් ඔද්දල් වුණා” වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.
”දැන් ජනාධිපතිතුමා යටතේ පොලීසිය තියෙද්දි රත්ගම දෙන්නෙක් අතුරුදන් වීම ගැන වහාම කරුණු හොයන්න ඕනෑ. මොකද මේ ආණ්ඩුව යටතේ අතුරුදන් වූ පළවෙනි දෙන්න ඔවුනුයි. මේකට ආණ්ඩුවේ හෝ ඉස්සර වගේ සුදු වෑන්වල කිසිම සම්බන්ධයක් නෑ කියලා ජනතාව දන්නවා” ගයන්ත කරුණාතිලක කීවේය.
”ව්‍යවස්ථාදායක සභාවට විරුද්ධව ජනාධිපතිතුමා කරපු කතාව රාජපක්ෂ නඩය ඇදන් යනවා. දැන් ජනාධිපතිතුමාට කොටි වල්ගෙ අල්ල ගත්ත වගේ වැඩක් වෙලා තියෙන්නෙ. එතුමාගෙ එකඟත්වයෙන් 19 වැනි සංශෝධනය යටතේ ඇතිකරපු ස්වාධීන කොමිෂන්වලට දිගටම පහර නොදුන්නොත් රාජපක්ෂලා තරහ වෙනවා. පහර දුන්නොත් 2015 වෙනස සඳහා හිටපු සිවිල් සංවිධාන ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආදරය කරන මේ රටේ බහුතර ජනතාව ජනාධිපතිතුමා එක්ක තරහ වෙනවා” ලක්ෂ්මන් කිරිඇල්ලගේ විග‍්‍රහය එය විය.
”ජනාධිපතිතුමා එක්ක ඇමැතිවරුන්ට රාජතාන්ත‍්‍රික ගනුදෙනුවක් තියනවා. ඒත් ඒ සීමාව ඉක්මවලා අපේ සමහරු එතුමා එක්ක රහස් ඞීල් දාන්න යන එක ආණ්ඩුවට ඉතා අවාසියි. මේ ගැන පක්ෂය ඇතුලේ යම් තීන්දුවක් ගන්න වෙනවා” කිරිඇල්ල යළිත් කීවේය.
රන්ජන්ගේ හොම්බට අනින හරීන්ගේ කුකුල් කේන්තිය...
රන්ජන්ගේ මත්ද්‍රව්‍ය හෙළිදරව්වත් සමගම එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු හා ඇමැතිවරු ගණනාවකටම සිය ගම්බිම්වල දිහා ආසන බල ප‍්‍රදේශවලදී ජනතාවට මුහුණදීමට නොහැකි ආකාරයේ ප‍්‍රශ්න මතුවිය. ඒ අතර එක් අයෙකි බදුල්ලේ හරීන් ප‍්‍රනාන්දු... රන්ජන් සමහර ප‍්‍රකාශයන් සමහර තැන්වලදී එල්ල කරනු ලැබුවේ හරියට නමක් ගමක් නොකියා යම් යම් සාධක පමණක් පෙන්වා දෙමිනි. මේ නිසා එම කතා තේරුම් ගන්නා අය යම් යම් අය පිළිබඳව වරදවා තේරුම්
ගැනීම්වලට ද යොමුවන බව එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී හරීන් ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේය...
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් 20 වන බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1 දී පැවැත්විණි. මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් 24 දෙනකු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කරන ලද ප‍්‍රකාශයයි.
මේ මිනිහා එක එක වෙලාවල්වලදී කියන්නේ එක එක කතා.... එක වෙලාවකදි කියනවා මත්ද්‍රව්‍ය චෝදනා තියෙන කෙනා උඩරට ඇමැතිවරයෙක් කියලා. තව වෙලාවකදි කියනවා වතු කම්කරුවන් සමග එකට වැඩ කරන කෙනෙක් කියලා... හරියට නම් කියන්නේ නෑ.... නම් නොකියා ඔය විදියට වටින්් පිටින් විස්තර කියනකොට අපේ ගම්වල ඉන්න මිනිස්සු අපි ගැනත් සැක හිතලා ප‍්‍රශ්න අහනව. දැන් අපිටත් වෙලා තියෙන්නේ ගමේ යන්න බෑ....
මේ මිනිහා හොඳ වෙලාවට අද ඇවිල්ලා නැහැ.... නැත්නම් මම මේකාගේ හොම්බට දෙකක් ඇනලා තමයි කාටද උඹ ඕව කියන්න කියලා අහන්නේ....
හරීන්ගේ ප‍්‍රකාශය අවසන් වනවාත් සමගම මේ ප‍්‍රශ්නය ගැන එජාපයේ මන්ත‍්‍රීවරු ගණනාවක්ම අදහස් දක්වන්නට වූහ. දොස්තර රාජිත සේනාරත්න, රවි කරුණානායක, තලතා අතුකෝරල, ජෝන් අමරතුංග, සාගල රත්නායක ඇතුළු අමාත්‍යවරුන් රැසක් ද, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සිඞ්නි ජයරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින්ද රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කළහ.
මේ අතර කිරිපිටි ප‍්‍රශ්නය ද ඇදී ආවේය. රාජිත මෙම ප‍්‍රශ්නයේ ඇති බැ?රුම්කම් පෙන්වා දුන් අතර මන්ත‍්‍රීවරුන් ගණනාවක්ම බුද්ධික පතිරණගේ හැසිරීම හා ක‍්‍රියා කලාපය ගැන දැඩි නොසතුට පළ කරමින් කතා කළහ.... රන්ජන්ගේ බුද්ධිකගේ මෙබඳු හැසිරීම්වලින් පක්ෂය හා රජය දැඩි ලෙස අපහසුතාවයට පත්වන බව ඇමැතිවරු පෙන්වා දුන්හ.
රන්ජන්ගේ ක‍්‍රියාකලාපය ගැන විනය පරීක්ෂණයක් පවත්වන්නට යෝජනාවක් මතුවිය. විනය පරීක්ෂණය සඳහා කිරිඇල්ලගේ මෙහෙයවීමෙන් කමිටුවක් පත් කරන්නට ද රනිල් කටයුතු කළේය. ලක්ෂ්මන් කිරිඇල්ල, එරාන් වික‍්‍රමරත්න, ආශු මාරසිංහ හා පක්ෂයේ නීතිවේදියකු වන නිශ්ශංක නානායක්කාර යන අය එම කමිටුව සඳහා නම් කෙරුණි.
කෙසේ වෙතත් රංජන් රාමනායකවත් බුද්ධික පතිරණවත් දැඩි ලෙස විවේචනයට ලක්වූ මෙම කණ්ඩායම් රැස්වීමට ඒ දෙදෙනාම පැමිණ නොසිටීම විශේෂත්වයක් විය.
ජනපතිගේ කතාව ගැන කථානායක සතුටින්ලූ...
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවට පැමිණ 19 වන සංශෝධනය කරමින් තමන් විසින්ම ගොඩනගන ලද ව්‍යවස්ථාදායක සභාව දැඩි ලෙස විවේචනයට ලක් කිරීම පසුගිය සතියේ සමාජයේ කතාබහට ලක් වූ කාරණයක් විය. 19 වන සංශෝධනය තුළින් බොහෝ දුරට කරනු ලැබුවේ ජනාධිපතිවරයා සතුව තිබූ තනි බලය පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලය යටතට පත් කිරීමය.
ගෙවී ගිය වසර කිහිපය පුරාම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර, නිසි බල තුලනයක් පවත්වා ගෙන යමින් කටයුතු සිදු වූ නමුත්, දින පනස් දෙකේ දේශපාලන අලකලංචියෙන් පසුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයාගේ ඇඟිල්ල දිගු වනු පෙනිනි. ඒත් සමගින්ම ඒකාබද්ධ විපක්ෂය ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට චෝදනා නැගූ අතර, එහි ප‍්‍රධානියා වූ කථානායකවරයා චෝදනාවන්හි ප‍්‍රධාන ඉලක්කය විය.
ගෙවී ගිය බදාදා පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වූයේ මෙම නිමිත්තය. කෙසේ වෙතත් මෙම විවාදය පිළිබඳව කථානායකවරයා තුළ වූයේ ප‍්‍රසාද ජනක හැඟීමකි. ”ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කරන්නේ මොකක්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ තුළින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අයිතිවාසිකම් රැකෙන්නේ කොහොමද කියලා රටේ ජනතාව දැන ගත යුතුයි. ඒ නිසා මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඇති කිරීම ඉතාම කාලෝචිත දෙයක්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නිරූපණය කරන්නේ පුද්ගලයකුගේ තනි බලයක් නෙමෙයි. සමස්ත පාර්ලිමේන්තුවේ බලයයි. එහෙම නැත්නම් ජනතාව සතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වල බලයයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට එන ගල්මුල් ප‍්‍රහාරවලින් එය රැක ගැනීම මගේ වගකීමක්. ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව දැනුවත් වන තරමටම මට ඒ වගකීම ඉටු කරන්න ලේසියි. විවාදයේ දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ගැන සුභවාදීව කථා කරන අයත්, අසුභවාදීව කථා කරන අයත් එම දැනුවත් කිරීමට දායක වෙනවා” යනුවෙන් ද කථානායකවරයා පැවසීය.
මේ අතර, ගෙවුණු සතියේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් පවසන පරිදි පාර්ලිමේන්තුවේ මතට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් පිළිබඳව ලේඛනයක් කථානායකවරයා වෙත ලැබී ඇත්දැයි බොහෝ අංශවලින් විමසීම් කෙරිණි. මේ පිළිබඳව බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භයේ දීම ප‍්‍රකාශයක් කළ කථානායකවරයා සඳහන් කළේ එවන් කිසිදු ලේඛනයක් තමා වෙත ලැබී නොමැති බවය.
මේ අතර, ශ‍්‍රී ලංකාවේ සංචාරයකට එක් වූ ඉන්දීය විදේශ සේවයට අලූතින් එක් වූ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීහු දස දෙනෙකුගෙන් යුත් පිරිසක් පාර්ලිමේන්තුව වෙත පැමිණියේ මෙරට පාර්ලිමේන්තුව පිළිබඳව අවබෝධයක් ලැබීමේ අරමුණිනි. කලාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන කථානායකවරයා හමු වීම තමන් ලද මහඟු අවස්ථාවක් බව ඔවුහු සඳහන් කළහ. ශ‍්‍රී ලංකා ඉන්දීය ඓතිහාසික මිත‍්‍රත්වය ද සිහිපත් කළ කථානායකවරයා කලාපීය අනන්‍යතාවය වෙනුවෙන් ලෝකය තුළ පුළුල් රාජතාන්ත‍්‍රික මෙහෙවරක් ඉටු කිරීමට එම පිරිස වෙනුවෙන් සුභාශිංසන එක් කළේය.
-දිවයින පුවත්පත

No comments:
Post a Comment