රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයට සම්බන්ධ පොලිසියේ 5ක් අතුරුදන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයට සම්බන්ධ පොලිසියේ 5ක් අතුරුදන්


රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 05 දෙනෙකු පිළිබඳ ඊයේ (22) දිනයේ සිට කිසිදු තොරතුරක් ලැබී නොමැති බව වාර්තා වේ.

එම විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකුට ඊයේ සිට ස්ථාන මාරුවීම් ලබාදී තිබුණු අතර අදාළ පණිවිඩය ලබාදීම සඳහා ඔවුන් සොයන අවස්ථාවේදී මේ බව හෙළිදරව් වී තිබේ.

ඒ අනුව එම නිලධාරීන් 05 දෙනා නිවාඩු නොමැතිව රාජකාරියෙන් බැහැරව ගොස් ඇති බව
පොලිස් පණිවිඩ මඟින් දැනුම් දී ඇති බවත් ඔවුන් සේවයට වාර්තා නොකළහොත් සේවය හැරගියා සේ සලකා ක්‍රියා කිරීමට නියමිත බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

33 හැවිරිදි මංජුල අසේල සහ 31 හැවිරිදි රශේන් චින්තක නම් ව්‍යාපාරික තරුණයින් දෙදෙනා බූස්ස, රත්න උදාගම ප්‍රදේශයේ නිවසක සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් පැහැරගෙන යන ලදුව ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර මාතර, වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයකදී පුළුස්සා දමා ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට දකුණු පළාත් භාර ‍ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු සහ උප පොලිස් පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාපාරිකයින් පැහැරගෙන යාම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 13 දෙනෙකු සහභාගී වී ඇති බවට විමර්ශන වලදී හෙළිදරව් වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad