බලධාරීන් ක‍්‍රිකට් විනාශ කලා,මං ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නවා.-ලෝකු කුසලානය මැද මාලිංග කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

බලධාරීන් ක‍්‍රිකට් විනාශ කලා,මං ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නවා.-ලෝකු කුසලානය මැද මාලිංග කියයි

Loading...

තමන් දැන් ක්‍රීඩාකරමින් සිටින්නේ සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
බීබීසි සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලසිත් මාලිංග පැවසුවේ වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය.
2020 ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබුණ ද එක්දින ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කර ඒ ගැන තීරණයක් ගන්නා බවත් ඔහු පැවසීය.
“මම දැන් සටන් කළා… සටන් කළා දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක්ද මම ගහනවනම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල.”
“ඒගොල්ලන්ගේ දැක්මයි මගේ දැක්මයි සැසඳූනොත් මම ඒ දක්වා ඉඳියි. නැත්නම් ඉතා ඉක්මනින් සම්පූර්ණ වශයෙන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි.” ලසිත් මාලිංග කියා සිටියේය.
“මේ ලෝක කුසලානයෙන් පස්සේ මම හරි ආසයි ලංකාවේ එක තරගයක් ක්‍රීඩා කරලා එක්දින පිටියෙන් සමුගන්න.”
තමන් සමග වසර 10ක් එකට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර සමග එකට එක් තරගයක් ක්‍රීඩා කර සමුගැනීම සිය අභිප්‍රාය බව ද ලසිත් මාලිංග සඳහන් කළේය.
“නුවන් කුලසේකරත් මාත් සමග අවුරුදු 10ක් ක්‍රීඩා කළා. මම හිතනවා ඔහුටත් එක තරගයක් හම්බවෙයි කියලා ක්‍රීඩාවෙන් සමුගන්න. මොකද ඔහු ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 1කේ හිටපු ශ්‍රී ලංකාවේ එකම වේග පන්දු යවන්නා. ඒක නිසා මම හරි කැමැත්තෙන් ඉන්නවා ඔහුයි මායි එකම තරගයේ සමුගන්න. මම ඒකට ගොඩක් උත්සාහ කරලා තියෙන්නේ. මම හිතනවා මගේ උත්සාහය සාර්ථක වෙයි කියලා.”
ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බංගලාදේශ හෝ නවසීලන්ත සංචාරය ඒ අනුව තම අවසන් එක්දින හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය විය හැකි බව ද ලසිත් මාලිංග බීබීසි සිංහල සේවයට පැවසීය.
“දැන් මට අවුරුදු 36යි. මගේ ඇඟේ තියෙන ශක්තිය දැන් එහෙම නැහැ. තරගයකදී මට තියෙන දෙයින් මම උපරිම ප්‍රයෝජන ගත්තට මට පරාජය කරන්න තරම් ශක්තියක් දැන් නැහැ.”
“අපි දැන් එක්දින ශ්‍රේණිගත කිරීම්වල 9 වෙනි ස්ථානය ඉන්නේ මම ක්‍රීඩාකරන මේ අවසන් මාස කිහිපයේ 7 වෙනි ස්ථානය දක්වාවත් ඉස්සරහට ගේන්න පුළුවන් නම් මට ඒක ලොකු සතුටක්,” ඔහු සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපයේ බලාපොරොත්තුව ගැන එසේ අදහස් දැක්වීය.
“අපි මෙච්චර පල්ලෙහාට වැටිලා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ නෙවෙයි. අපි ශ්‍රේණිගත කිරීම්වල 2,3,4 ගොඩක් ක්‍රීඩා කළේ. ඉතින් ඒ ගැන දුකයි. හැබැයි මම හිතන්නේ නැහැ මෙතනින් එහාට යන්න පුළුවන් වෙයි කියලා.”
“විස්සයි විස්ස ලෝක කුසලානයට යන්න අද අපිට සුදුසුකම් ලැබීමේ වටයට ගහන්න වෙලා තියෙනවා. මේක මට ලොකු දුකක් සුදුසුකම් ලබන්න වෙලා තියෙන කොට දාලා යන්න. ඒකයි මම හිතුවේ විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කරලා සුදුසුකම් ලබන වටයෙන් හරි ඉදිරියට ගිහින් අයින් වුනොත් මට ඇති කියලා” ලසිත් මාලිංග අවසන් වශයෙන් කියා සිටියේය.
-BBC

No comments:

Post a Comment

Post Bottom Ad