උතුරේ ආරක්ෂක අංශ සීරුවෙන් - කොටි නායකයින් සමරා මහවිරු සැමරුම් තියන්න දෙන්නේ නැහැ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 26, 2019

උතුරේ ආරක්ෂක අංශ සීරුවෙන් - කොටි නායකයින් සමරා මහවිරු සැමරුම් තියන්න දෙන්නේ නැහැ

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදුණු ඊයේ (26දා) දින උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ. සැමරුම් වාර්තා නොවූ බව ආරක්ෂක අංශ පවසයි.

යුද සමයේදී මෙන්ම යුද්ධයෙන් පසුව අවස්ථා කිහිපයකදී කොටි නායකයාගේ ජන්ම දිනය උතුරේ ස්ථාන කිහිපයකදී රහසිගතව සැමරුණු අතර ඊයේ දිනයේදීද එවැනි සැමරුම් සිදුවන්නේද යන්න පිළිබඳව ආරක්ෂක අංශ සීරුවෙන් සිට ඇත.

තහනම් ත්‍රස්ත සංවිධානයක් හෝ එම සංවිධානයක නායකයකු කිසියම් පුද්ගලයකු ප්‍රසිද්ධියේ සිහිපත් කොට සැමරීමක් සිදුකරනු ලබන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවටද උතුරේ ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් යුද සමයේදී අතුරුදන්වූ පුද්ගලයන්ගේ ඥාති සංගමය මෙවර මහවිරු දිනය සැමරීම අද (27දා) පස්වරු 5.30ට වවුනියාව නගර සභා ශාලාවේදී සිදුකරන බව පැවැසීය.

වවුනියාවේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් එම සංගමයේ සභාපතිනි කාසිපිල්ලේ ජෙයවනිතා මහත්මිය මේ බව කියා සිටියාය.

මෙවර මහවිරු දිනය සැමරීම සඳහා මුලින්ම ඔවුන් වවුනියාවේ ඊච්චන්කුලම ප්‍රදේශයේ එකල පිහිටි එල්.ටී.ටී.ඊ. සුසාන භූමිය තෝරාගත් නමුත් ආරක්ෂක අංශවලින් ඊටවිරෝධය පැමිණි නිසා වවුනියාව නගර සභා ශාලාව තෝරාගත් බවද මෙහිදී සභාපතිවරිය පැවැසුවාය.

මියගිය මහවිරුවන් සිහි කිරීම සඳහා පහන් හා ඉටිපන්දම් දල්වා ඔවුන්ට ආත්ම ශාන්තිය ප්‍රාර්ථනා කොට සිටින බවද ඇය කීවාය.

මේ වන විට ඔවුන් මහවිරු දිනය සැමරීම සඳහා වවුනියාව නගර ශාලාව මුදල් ගෙවා වෙන් කරගෙන තිබේ.

චාමර අමරසූරිය, මුලතිව් - ශෂි කුමාර්,වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


No comments:

Post a Comment

Post Bottom Ad