Retired Major, Attorney at Law Ajith Prasanna - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 2, 2019

Retired Major, Attorney at Law Ajith Prasanna

කොළඹ පිහිටි ස්විස් තානාපති කාර්යාලය ඉදිරියේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න ආරම්හ කර තිබූ සත්‍යග්‍රහය ඊයේ රාත්‍රියේ අවසන් කර තිබෙනවා.ඒ පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියන් සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර එම ස්ථානයට පැමිණ කළ ඉල්ලීමකට අනුවයි.


ස්විස් තානාපති කාර්යාලයේ පැහැරගැනීමට ලක්වූවා යැයි පැවසෙන නිලධාරිනියට පොලිස් මූලස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු මෙම සත්‍යග්‍රහය ආරම්භ කළා. 

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක මුහුණදුන් බව කියන සිද්ධියට අදාළව තානාපති කාර්යාලය ලබාදුන් තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු එකිනෙකට නොගැළපෙන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය නොවැම්බර් මස 25 වනදා සිදුවූ බව කියන සාපරාධී සිද්ධිය බරපතල ලෙස සැළකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීමට වහාම නියෝග කළ බවයි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ අදාළ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමුවූ විදෙස් සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවල ප්‍රතිඵල ගැන ඔවුන් ඊයේ දැනුවත් කළා.

ස්විස් තානාපති කාර්යාලය පසුගිය 29 වනදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණපෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමුකරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් කළ ඉල්ලීම ඉටු කිරීමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළද, විමර්ශන ඉදිරියට ගෙන යනු ලැබූ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණපෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද තොරතුරුවලට අනුව අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව පිළිබඳ විමර්ශනවලදී සැළකිල්ලට ගත් බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ තොරතුරු,  මෙම නිලධාරිනිය සිද්ධිය වූ දින සිදුකළ ගමන් බිමන් සමඟ නොගැළපෙන බව කුලී රථ සේවාවක වාර්තා සහ සී සී ටී වී දර්ශන, දුරකථන වාර්තා සහ ජී පී එස් දත්ත ඇසුරෙන් සනාථ වන බව රජයේ නියෝජිතයින් සාක්ෂි සහිතව තානාපතිවරයාට මෙහිදී පෙන්වා දී තිඛෙනවා.

නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් ස්විස් තානාපති කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාරව අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවැරදිව හඳුනාගැනීමට තවදුරටත් විමර්ශන සිදුකළ යුතු බව දැනුම් දුන්නා.

ඒ සඳහා සිද්ධීයට මුහුණපෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතුයි.

සිදුවූවා යැයි කියන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහය වන ලෙසද විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්ද කර තිඛෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad