චන්ද්‍රිකාගෙන් රන්ජන්ට ලියුමක් : විජය කියපු කතාවකුත් මතක් කරලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 14, 2021

චන්ද්‍රිකාගෙන් රන්ජන්ට ලියුමක් : විජය කියපු කතාවකුත් මතක් කරලා !

ධිකරණයට අපහාස කිරීම හේතුකොටගෙන මේ වනවිට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා හට ඥාතිවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් කෙටි ලිපියක් යොමු කොට තිබේ.

ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

එහි මෙසේ සදහන්ය.

මා හිතවත් රන්ජන් Ranjan Ramanayake

ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.

ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ.

මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න.

කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.

අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.

“වරදට එරෙහිව අවි ඔසවන්නේ

රටකට දැයකට හිත ඇති මිනිසුන්

ශාන්තිවාදී තපස් රකින්නේ

පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”

මීට,

හිතවත්,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග


No comments:

Post a Comment

Post Bottom Ad