5 වසර ශිෂ්‍යත්වය නතර කිරීමට ජනපති කළ කතාවට ගුරු සංගමයෙන් පිළිතුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

5 වසර ශිෂ්‍යත්වය නතර කිරීමට ජනපති කළ කතාවට ගුරු සංගමයෙන් පිළිතුරු

5 වසර ශිෂ්‍යත්වය නතර කිරීමට ජනපති කළ කතාවට ගුරු සංගමයෙන් පිළිතුරු

“ඊයේ (20) දින පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් රැස්විම අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය ගන්නා තීරණයට තමන් එකඟ බවයි.

ඒ සඳහා අද ලංකා ගුරු සංගමය මෙලෙස අදහස් දැක්විය.

මේ වන විට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දරුවන් සහ දෙමාපියන් පීඩාවට පත් කරන කි‍්‍රයාවලියක් බවට පත්ව ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ වූ අවවරප‍්‍රසාදිත දක්ෂ දරුවන්ට පහසුකම් සහිත ප‍්‍රධාන පෙළේ නාගරික පාසල්වලට ඇතුළත්වීමට ඇති අවස්ථාව යටපත් කරමිනි. 

ශිෂ්‍යත්ව විභාගයේ පවතින දැඩි තරගකාරීත්වය තුළ දරුවන්ට තම ළමා කාලය මුළුමනින්ම අහිමි වී ඇති අතර, දරුවන් සහ දෙමාපියන් දැඩි පීඩාවකට සහ ආතතියකට පත්ව ඇත. මේ තත්වයට හේතු වී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ අරමුණු පසෙක තබා ජනපි‍්‍රය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ තරගයක් බවට ශිෂ්‍යත්ව විභාගය පත් කර තිබීමයි. ලංකාවේ පාසල් 10162 ක් පැවතියද අධිපහසුකම් සහිත අතිජනපි‍්‍රය පාසල් ඇත්තේ 36ක් පමණි. එම පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ අධික තරගයට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ද ගොදුරු වී ඇත. 

1943 කන්නංගර ප‍්‍රතිසංස්කරණ තුළ සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ සම අවස්ථා සැලසිය යුතු බව පිළි ගැනුණද වසර 76 ක් ගත වී තිබියදීත් තවමත් අධ්‍යාපනයේ සම අවස්ථා සැලසීමට අධ්‍යාපන පද්ධතිය තුළ ඉඩකඩ සලසා නැත. මේ තත්වය තුළ පහසුකම් සහිත ජනපි‍්‍රය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට ඇති එකම මඟ බවට මෙම ශිෂ්‍යත්ව විභාගය පත්ව ඇත. 

1 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී ආදි ශිෂ්‍ය පදනම්, සහෝදර පදනම්, ආසන්න පදිංචිය වැනි සාධක අහිමි වන දරුවන්ට එම පාසල්වලට ඇතුළත් වීමට ඇති එකම ක‍්‍රමය වන්නේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමයි.  මේ තත්වය යටතේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමෙන් අව වරප‍්‍රසාදිත දක්ෂ දරුවන්ට පහසුකම් සහිත ජනපි‍්‍රය පාසල්වලට ඇතුළත්වීමට ඇති එකම අවස්ථාව ද අහිමි වේ. 

අධ්‍යාපන පද්ධතියේ පවතින මෙම ව්‍යාකූල තත්වයට පිළියම වන්නේ සමස්ත පාසල් පද්ධතිය භෞතික සහ මානව සම්පත් ඇතුළත්ව සමාන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමයි. ‘ළඟම පාසල හොඳම පාසල’, ද්විතීයික පාසල් දහසේ ව්‍යාපෘතිය වැනි ක‍්‍රමවේද මගින් ද එම තත්වය ඇති කිරීමට අපොහොසත් වී ඇත. 

 මේ තත්වය තුළ දරුවන්ට පීඩාකාරී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය පියවර ගන්නේ නම් පහසුකම් සහිත ජනපි‍්‍රය පාසල්වලට ඇතුළත්වීමට අවස්ථාව නොලබන අවවරප‍්‍රසාදිත දක්ෂ දරුවන්ට එම පාසල්වලට ඇතුළත්වීමට විකල්ප ක‍්‍රමයක් ද සැකසිය යුතු බව පෙන්වා දෙන අතර, ඒ සඳහා විකල්ප ක‍්‍රමවේදයක් සකසන ලෙස ද ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටී". 

No comments:

Post a Comment

Post Bottom Ad