Loading...
දමයන්තිගේ පාසල් අධ්‍යාපනය හමාර විය. ඇයට අරමුණ කරා ළඟාවීමට නොහැකි වූවාය. ඒ රජයේ හෙද විදුහලට බැඳීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට නොහැකි වූ නිසාය. එහෙත් ඇය තම උත්සාහය අතහැරියේ නැත. ඉන්පසු ඇය පෞද්ගලික අංශයේ හෙද පාඨමාලාවක් හැදෑරුවාය. එම පුහුණුවෙන් අනතුරුව ඇය මෙරට පෞද්ගලික රෝහලක හෙදියක් ලෙස සේවය කළාය.
සනත් රාගම ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහුද දමයන්ති රැකියාව කරන රෝහලේම සේවය කළේය. සනත් දිනක් දමයන්ති දැන හඳුනා ගත්තේ ඒ හරහා ය. දුටුව පළමු දිනයේම සනත්ගේ සිතේ ඇය ගැන අමුතු හැඟීමක් දැනුණි. සනත්ගේ සිතට එය කෙලෙස කාවැදුණා දැයි ඔහුම නොදනී. එදින රැය පුරාම ඔහු කල්පනා කළේ දමයන්ති ගැනයි. එදින රාත‍්‍රියේ වියවුල් වූ සනත්ගේ සිතට දමයන්ති ගැන නොයෙක් අදහස් පහල විය. විටෙක ඔහු හිතුවේ ආත්ම ගණනක් ඇය තමාගේ සහකාරිය වී ඇති බවත්, මේ ආත්මයේදී ද යළි තමාගේ සහකාරිය වීමට පැමිණ ඇති බවයි.
මාස කිහිපයක් ගත විය. සනත්ගේ සහ දමයන්තිගේ මිතුරකම එන්න එන්නම වැඩි විය. දමයන්තිගේ යටි සිතෙ ද සනත් ගැන කැමැත්තක් තිබිණි. එම නිසාමදෝ වැඩිකල් නොගොස් දෙදෙනා පෙම්වතුන් බවට පත්වූහ. මෙය දෙදෙනාගේම පළමු පේ‍්‍රමය ද නොවූහ. කලක් ඔවුන් දෙදෙනා එලෙස පෙම්වතුන් ලෙස ඇසුරු කළහ. ඒ අතර කාලය තුළ සනත් බාහිර උපාධිය හදාරා උපාධියක් ද ලබා ගත්තේය. උපාධිය ලබාගත් පසු සනත් රෝහල් රැකියාවට සමුදී පෞද්ගලික රක්‍ෂණ සමාගමක කළමනාකරුවකු වශයෙන් සේවය කළේය.
වසර ගණනක් ආදර සම්බන්ධතාවකින් පසු දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාද මැද සනත් සහ දමයන්ති යුග දිවියට එළඹුණහ. ඉන් පසු ඔවුන් දෙදෙනා රාගම ප‍්‍රදේශයේ පදිංචි වූහ. විවාහයෙන් වසර කිහිපයකට පසු එම පවුලට දරුවන් දෙදෙනෙකු ද ලැබුණහ. දරුවන් සමඟ කලක් ඔවුහු සතුටින් කල් ගෙවූහ.
දමයන්තිගේ පවුලට කණකොකා හඬන්නට පටන් ගන්නේ සනත්ගේ අනියම් සම්බන්ධතාවක් නිසාවෙනි. සනත් තම රැකියා ස්ථානයේ තරුණියක් සමඟ අනියම් සම්බන්ධතාවක් පටන් ගෙන තිබිණි. ඒ සම්බන්ධය කොතරම් ප‍්‍රබලද කිවහොත් සනත්ට ඇයගෙන් තොර ලොවක් නොතිබිණි. තම බිරිඳට දරුවන්ට වඩා ඔහු ඇයට ආදරය කළේය. එම තරුණිය ද සනත්ගේ තනතුරට සහ මුදල්වලට ඇති ආශාව නිසා ඔහුට බොරු ආදරයක් පෙන්නුවාය. සනත් ඇයට රැවටුණි.
දමයන්ති මෙම අනියම් සම්බන්ධතාව ගැන දැන ගන්නේ යහළුවෙකු මාර්ගයෙනි. එය දැනගත් දින ඇයට දිවිනසා ගැනීමට තරම් හිතුනි. තමා පණමෙන් ආදරය කළ ස්වාමිපුරුෂයා වෙනත් කාන්තාවක් සමග යහන් ගතවුණේ කෙසේද යන්න ඇයට සිතා ගැනීමටවත් නොහැකි විය. කරන්නේ කුමක්ද කියා ඇයට එක්වරම සිතා ගැනීමට නොහැකි වූවාය. යහනට ගොස් පැය කිහිපයක් කඳුළු සලමින් කල්පනා කළේ ඉදිරියට කරන්නේ කුමක්ද කියාය. අවසානයේ ඇය තීරණයකට පැමිණියාය. ඒ තම දරු දෙදෙනා නිසා පවුල් ජීවිතය ගත කළ යුතුය කියා ය.
කිසිවක් නොදත් සනත් සුපුරුදු පරිදි සවස නිවසට පැමිණියේය. බිරිඳ හැසිරෙන්නේ වෙනදා මෙන් නොවන බව ඔහුට ඉවෙන් මෙන් දැනුණි. කුමක් හෝ අවුලක් සිදු වී ඇති බව සනත්ට තේරුණි. එමනිසා ඔහු ඇගෙන් මෙලෙස විමසුවේය.
‘‘ඇයි දමයන්ති ඔයා අද වෙනස්. අසනීපයකින්වත්ද?’’
‘‘අසනීප කාටද දන්නෙ නැහැ. මම හොයා ගත්තා අද සේරම විස්තර. කවුද නිශාන්ති කියන්නේ?’’
‘‘ඒ අපේ ඔෆිස් එකේ වැඩ කරන ගර්ල් කෙනෙක්’’’
‘‘ඔෆිස් එකේ වැඩ කරන ගර්ල් කෙනෙක් කියලා මම දන්නවා. ඒකිත් එක්ක නටන නාඩගම මොකක්ද? මම දැන ගත්තා පහුගිය ටිකේ හැසිරුණු ආකාරයෙන් මොකක් හරි ඇති කියලා. ඒත් මම විශ්වාස කළේ නැහැ. තමුසෙ මෙහෙම දෙයක් කරයි කියලා. තමුසෙට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ කරපු දේට. ගිහින් ඒ ගෑනිත් එක්කම දීග කනවා. ආයි මට තමුසෙව ඕන නැහැ. දරුවො දෙන්නත් එක්ක මම ජීවත් වෙන්නම්.’’
‘‘ඔයාට පිස්සුද?’’
සනත්ට කීමට හැකි වූණේ එපමණකි. දමයන්ති අධික කෝපයකින් යුතුව යළි මෙලෙස පැවසුවාය.
‘‘මිනිහෝ මට බොරු කියන්න එපා. මම සේරම විස්තර දන්නවා. තමුසෙට ලැජ්ජා නැද්ද ඕයි. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් නේ. මඟුල් නටන්නේ එක එක ගෑනුත් එක්ක. දැන්වත් මට ඇත්ත විස්තරේ කියනවා. නැත්නම් මම නරක ගෑනි කියන්න එපා.’’
එම වචන ටික ඇසීමෙන් සනත්ට කට උත්තර නැති විය. ඒකාන්තයෙන් ම බිරිඳ තමාගේ අනියම් සම්බන්ධතාව ගැන සොයා ගෙන ඇති බව ඔහුට දැණුනි. දැන් කරන්න කිසි දෙයක් නොමැති බව ඔහුට වැටහුණි. පොඩි හෝ සහනයක් ලබා ගැනීමට නම් බිරිඳට ඇත්ත හෙළි කළ යුතු යැයි ඔහු සිතුවේය. එලෙස සිතා ඔහු නිශාන්ති සමග ඇති සම්බන්ධතාවත්, සියලූ තොරතුරුත් ඇයට පැවසුවේය. ඒ සමඟම යළි කිසි දිනක එවැනි සම්බන්ධතවක් ගොඩනගා නොගන්නා බවටද දිවුරා පොරොන්දු විය.
දමයන්තිට පොරොන්දු වූ ලෙසම සනත් නිශාන්ති සමග තිබූ අනියම් සම්බන්ධතාව පසුදිනම නවතා දැමුවේය. ඉන් පසු සනත් හුඟක් වෙනස් විය. කාමයට ලොල් වී තමා කර ඇති වරදේ බරපතළකම ගැන සිතා සිතින් දුක් වින්දහ. එය නිවැරැදි කර ගැනීමට නම් බිරිඳව සහ දරුවන්ව හොඳින් රැකබලා ගතයුතු යැයි ඔහු කල්පනා කළේය. ඒ අනුව ඔහු බිරිඳට සහ දරුවන්ට අසීමිත ආදරයක් දැක්වූවේය. වෙනදාට වඩා ඔවුන් ගැන සොයා බැලූවේය. විටෙක එම අසීමිත ආදරය දමයන්තිට කරදරයක් ද විය. ඒ අවස්ථාවලදී ගැටුම් පවා ඇති විය. එහෙත් සනත් සියල්ල ඉවසා දරාගෙන තම කැදැල්ල ඉතා ආදරයෙන් රැක බලා ගත්තේය.
විල්සන් වෛද්‍යවරයෙකි. මහාචාර්යවරයෙකි. එහෙත් එම වෛද්‍යවරයා අනංගයෙකි. කොටින්ම කියතහොත් ගැහැනු සොඬෙකි. වයස අවුරුදු 73 කි. මිල මුදල් සහ දේශපාලන බලය අතින් ද ඔහුට ලොකු සම්බන්ධකම් තිබිණි. එම මහාචාර්යවරයා දමයන්ති රැකියාව කළ රෝහලේ ද සේවය කළේය. තම බලපුළුවන්කාරකම් සහ මිල මුදල් පෙන්වා එම රෝහලේ තරුණියන් කිහිපදෙනෙකු සමග ඔහු අනියම් සම්බන්ධතා ගොඩනඟාගෙන තිබිණි. මේ වයසක මහාචාර්යවරයා දමයන්තිට ද ඇල්ම බැල්ම දැමුවේය. ඒ ඇය සමඟ ද අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමටය. ඒ අනුව ඔහු ඉතා සූක්‍ෂම අයුරින් දමයන්ති සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගා ගත්තේය. ඉන් පසු ටිකෙන් ටික ඇයට ළංවිය. ඒ තම අරමුණ ඉටුකර ගැනීම සඳහා ය.
මාස කිහිපයක් ගත විය. වයසක මහාචාර්යවරයා ඒ වන විටත් දමයන්ති සමග ආදර සම්බන්ධතාවකට සමාන සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන තිබුණි. කාන්තාවන් පිළිබඳ විශේෂ දැනුමක් ඇති එම වයසක මහාචාර්යවරයාට දැන් දමයන්තිගෙන් ඕනෑම දෙයක් කරගත හැකි යැයි සිතුවේය. එලෙස සිතා දමයන්තිට මෙලෙස පැවසුවේය.
‘‘දමයන්ති ඔයා හෙට මොකද කරන්නේ?’’
‘‘ඇයි ඩොක්ටර් මොකක්ද වෙන්න ඕනේ’’
‘‘මම දන්නවා ඔයා මං වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා කියලා. ඒ වගේම තමයි මමත්. ඔයා වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. ඒක මතක තියාගන්න’’
‘‘හරි මම ඒක දන්නවා. ඒකනේ මම මගේ පෞද්ගලික දේවල් පවා ඩොක්ටර්ට කියල තියෙන්නේ. දැන් මගෙන් ඩොක්ටර්ට මොකද්ද වෙන්න ඕනෑ
‘‘ඔයා මාත් එක්ක හෙට ඩිනර් එකකට යන්න එන්න ඕනෑ. අපි හොඳ තරු පහේ හොටෙල් එකකට යමු. ප්ලීස් බැහැ කියන්න එපා. මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා.’’
දමයන්ති එයට අකැමැති නොවීය. එහෙත් කැමැති බවක් ද එක්වරම නොපෙන්නුවාය. ඒ එලෙස පෙන්වමින් ඇය යළි මෙලෙස පැවසුවාය.
‘‘ කවුරු හරි දැක්කොත් හොඳ නැහැනේ.’’
‘‘ඒක මම බලාගන්නම්. කාටවත් පේන්නැති තැනකට ඔයාව එක්කන් යන්නම්.’’
‘‘ අනේ මන්දා මට නම් බයයි.’’
‘‘ ඔයා බය වෙන්න එපා දමයන්ති’’ වයසක මහාචාර්යවරයා එලෙස පැවසුවේය.
පසු දින උදා විය. එදින දමයන්ති රාති‍්‍ර සේවය සඳහා රෝහලට යායුතු යයිි සනත්ට පැවසුවාය. එහෙත් එදින ඇය රෝහලට නොපැමිණියාය. පෙර කතා කර ගත් පරිදි ඇය වයසක මහාචාර්යවරයා මුණගැසුණි. මහාචාර්යවරයා ඇයව තම සුඛෝපභෝගී මෝටර් රථය නංවා ගත්තේය. ඉන්පසු කෙලින් ඔහු එය නතර කළේ තරුපහේ හෝටලයක් තුළය. එය මහාචාර්යවරයාට සුපුරුදු හෝටලයකි. ඔහු සමඟ අනියම් සම්බන්ධතා පවත්වන සියලූම තරුණියන් මහාචාර්වරයා රැගෙන යන්නේ එම හෝටලයටය. වෙනදා මෙන් කලින්ම ඔහු එහි කාමරයක් වෙන් කරවාගෙන තිබිණි.
දමයන්තිව වයසක මහාචාර්යවරයා කෙලින්ම එම කාමරයට රැගෙන ගියේය. දමයන්ති ද කිසිම පැකිලීමකින් තොරව එම කාමරයට ගියාය. ඉන්පසු වයස මහාචාර්යවරයා දමයන්තිගේ දෙඅත් අල්ලා ‘‘මම ඔයාට ආදරෙයි පැටියෝ’ කියා තුරුළු කර ගත්තේය. එතැන් සිට දෙදෙනා උපරිම නිදහසේ තමන්ට රිසිසේ එම කාමරය තුළ රැය පහන් කළහ.
වයසක මහාචාර්යවරයා සහ දමයන්ති අතර අනියම් සම්බන්ධතාවය පටන් ගත්තේ එලෙසින්ය. එතැන් පටන් ඔවුන් දෙදෙනා ලද සෑම අවස්ථාවකම එලෙස එක්වූහ. වැඩි කාලයක් නොගොස් මෙම අනියම් සම්බන්ධතාවය රෝහලේ සියලූ දෙනාම පාහේ දැන ගත්හ. ඒත් වයසක මහාචාර්යවරයාට සහ දමයන්තිට එය ගැටලූවක් නොවුණි. ඔවුන් දිගටම එම සම්බන්ධතාවය පවත්වාගෙන ගියේය. ඒ අතර වයසක මහාචාර්යවරයා දමයන්තිට මිල මුදල් සහ ඉතා වටිනා තෑගි භෝග ද ලබා දුන්නේය.
හසිත ද එම රෝහලේ වැඩ කරන ලිපිකරුවෙකි. ඔහු සනත්ගේ යහළුවෙකි. හසිත දමයන්තිගේ අනියම් සම්බන්ධතාවය ගැන දිනක් සනත්ට පැවසුවේය. ඒ වයසක මහාචාර්යවරයාගෙන් සනත්ගේ පවුල ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය. එය ඇසූ මොහොතේ සනත්ට තරු පෙනුණි. තම බිරිඳද එවැනි දෙයක් කර තැයිි ඔහු සිහිනෙකින්වත් නොසිතුවේය. එදින සනත් නිවසට පැමිණියේ දැඩි සිත් අවුලෙන්ය. එලෙස පැමිණි ඔහු තම බිරිඳගෙන් මෙලෙස විමසුවේය.
‘‘කවුද මහාචාර්ය විල්සන් කියන්නේ. එයත් එක්ක ඔයාගේ තියෙන සම්බන්ධය මොකක්ද?’’
‘‘කවුද ඔයාට බොරු කිව්වේ. ඒ අපේ ඩොක්ටර් කෙනෙක්. මගේ එහෙම සම්බන්ධයක් නැහැ. කවුරු හරි බොරු කියලා ඔයාට.’’
‘‘කවුරුත් බොරු කිව්වේ නැහැ. මම ඇත්ත කියන්න. ඔයා එයත් එක්ක රවුම් ගහනවලූ.’’
‘‘අනේ මම ඔයා වගේ රවුම් ගැහුවේ නැහැ. මගෙන් අහගන්න එපා.’’
‘‘මම වරදක් කළා තමයි. එහෙත් ඒක පිළිගත්තා. එතැනින් පස්සේ මම ඒක නැවත්තුවා. ඔයා එක හොඳට දන්නවානේ.’’
‘‘ මට ඒවයින් වැඩක් නැහැ. ඩොක්ටර් මගේ හොඳ යහළුවෙක්. එච්චරයි. මගෙන් අනවශ්‍ය ප‍්‍රශ්න අහන්න එපා. වැරදි කරලා.’’
දමයන්ති ඉතා කේන්තියෙන් එලෙස පැවසුවාය. එම වචන ටික ඇසූ මොහොතේ සනත් ඉතා අසරණ විය. ඒ තම පෙර වැරැද්ද නිසාය. බිරිඳ සහ යහළුවා කියූ දෙය ගැන සිතමින් ඔහු දින කිහිපයක් කල්පනා කළේය. විටෙක සත්‍ය පවසන්නේ බිරිඳ ද යහළුවා ද ඔහුට සිතා ගැනීමට නොහැකි විය. එම නිසා බිරිඳ ගැන ඔහු හොර රහසේම සොයා බැලූවේය. දින කිහිපයකින් පසු ඔහුට සත්‍ය සොයා ගැනීමට හැකි විය. තම යහළුවා කියූ කතාව සත්‍ය බව තේරුම් ගත්තේය.
සනත්ට උවමනා වුණේ හොඳින් පවුල් ජීවිතය ගත කිරීමටය. එම නිසා ඔහු බිරිඳ ඉදිරියේ බැගෑපත් වෙමින් පැවසුවේ වයසක මහාචාර්යවරයා සමඟ ඇති අනියම් සම්බන්ධතාවය නවතා දමන ලෙසයි. එහෙත් දමයන්ති එය සත පහකටවත් ගණන් ගත්තේ නැත. ඇය දැන් එළිපිටම වයසක මහාචාර්යවරයා සමඟ අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගියාය. ඇය ඔහු සමඟ විදේශ සංචාර කිහිපයකට ද සහභාගි වූවාය. සනත් කොතරම් පැහැදිලි කළත් ඇය එම අනියම් සම්බන්ධතාවය අත් නොහැරියේය. වසර පහක් පමණ එම සම්බන්ධතාවය ඇය පවත්වාගෙන ගියාය.
අවසානයේ ඇය සනත්ගෙන් දික්කසාද වීමට සූදානම් වූවාය. ඒ වයසක මහාචාර්යවරයාගේ අනු දැනුම මතයි. සනත් දික්කසාද වීමට අකැමැති විය. ඒ දරුවන්ගේ අනාගතය ගැන සිතාය. අවසානයේ ඔහු එම වයසක මහාචාර්යවරයා මුණගැසී පැවසුවේ තම බිරිඳ සමඟ ඇති අනියම් සම්බන්ධතාවය නවතා දමන ලෙසයි. එහිදී එම වයසක මහාචාර්යවරයා පැවසුවේ ‘තමන්ගේ පවුලේ ප‍්‍රශ්න තමන්ට විසඳා ගන්නා ලෙසයි.’ අවසානයේ සනත් අන්ත අසරණ විය.
දිනක් සනත්ට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ වයසක මහාචාර්යවරයාගේ දියණියගෙන්ය. ඇය ඔහුට මෙලෙස පැවසුවාය. ‘‘අන්න ඔයාගේ බිරිඳ අපේ තාත්තා එක්ක අහවල් නිවාස සංකීර්ණයේ ඉන්නවා.’’ එලෙස කියමින් ඇය එක්තරා වචනයක් ද සනත්ට පැවසුවාය. එදින සනත්ට අධික කේන්තියක් ආවේය. මෙතරම් හොඳින් කියලත් බිරිඳ හැදෙන්නේ නැත්නම් කළ යුත්තේ එක් දෙයක් යැයි ඔහු සිතුවේය.
වරුවක නිවාඩු දමා ඔහු රාගම නගරයට පැමිණ තියුණු උල් පිහියක් මිලදී ගත්තේය. ඉන්පසු ඔහු කෙලින්ම නිවස බලා පැමිණියේය. දමයන්ති ඒ වනවිටත් තම සයනේ නිදියමින් සිටියාය. ඒ පෙර දින රාති‍්‍ර සේවය කළ හේතුවෙනි. සනත් දමයන්ති නිදා සිටින අයුරු දැකීමෙන් එකවර සිතුවේ වයසක මහාචාර්යවරයා සමඟ රවුම් ගසා ඇවිත් මෙලෙස නිදා සිටින බවයි. එම නිසා කිසිදිනක නොආපු අධික කේන්තියක් ඔහුගේ සිතට පැමිණියේය. එහි ප‍්‍රතිඵලය වුණේ දමයන්තිගේ සිරුරට මාරක පිහි පහරවල් කිහිපයක් එල්ල වීම පමණි. තම කේන්තිය තිබෙන තුරුම සනත් දමයන්තිට පිහි ප‍්‍රහාර එල්ල කළේය. ඒ පිහි ප‍්‍රහාර හමුවේ ඇයට සිදු වූවේ අවසන් ගමන් යෑමටය. අවසානයේ එම පිහිය ද රැගෙන සනත් රාගම පොලිසියට භාර වී සිද්ධිය පැවසුවේය. තහනම් ගහේ ගෙඩි කෑම නිසා අවසානයේ අසරණ වීමට සිදු වූයේ සනත්ගේ සහ දමයන්තිගේ දරු දෙදෙනාටය.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment