ඩුබායි නීතියට වරදකරුවෙක් වුණොත් මධුෂ් ලංකාවට ගේන්න බෑ,ජංගම දුරකථනය රහස් තොරතුරු රැසක් කියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 9, 2019

ඩුබායි නීතියට වරදකරුවෙක් වුණොත් මධුෂ් ලංකාවට ගේන්න බෑ,ජංගම දුරකථනය රහස් තොරතුරු රැසක් කියයි!

Loading...
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරටට භාරදිය හැක්කේ ඔවුන් සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අධිකරණ ක‍්‍රියාවලියේදී එරට නීතිරීති අනුව ඔහු වරදකරු නොවුණහොත් පමණක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්‍ෂක බලධාරීන් විසින් ශ‍්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන් වෙත දැනුම් දී ඇත.

 මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මධුෂ් ඇතුළුව අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති අතර එහිදී ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කර තිබේ.

 එහිදී එම පිරිසෙන් කොටසක් තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට එම වෛද්‍ය පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.

 එරට නීතිය අනුව තහනම් මත්ද්‍රව්‍ය භාවිතය හා ළඟ තබාගැනීම යන වරදවල් දෙකම මරණීය දණ්ඩනය ලබාදිය හැකි වරදවල් වේ.

 මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු පැවසුවේ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා සිදුකරගෙන යන බවයි.

 ඒ සඳහා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් යොදවා ඇති අතර ඔවුන් වෙත අවශ්‍ය නීති උපදෙස් ද ලබා දෙන අතර අවශ්‍ය වුවහොත් ශ‍්‍රී ලංකාවෙන් විශේෂ කණ්ඩායමක් ද පිටත්කර යවන බව එම ප‍්‍රකාශකයා  පැවසීය.
තිස් වසරක් තිස්සේ මේ රට විනාශ කළ ඉතිහාසයේ දරුණුතම මිනීමරුවා ලෙස සැලකෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඝාතනයට ලක්වූ දින මුළු රටම ප‍්‍රීතියට පත්විය. රට පුරා ප‍්‍රීති උත්සව පවත්වමින් ජනතාව තම සතුට ප‍්‍රකාශයට පත්කළේ ප‍්‍රභාකරන් නමැති අළුගෝසුවාගෙන් රට නිදහස් වීම නිසාය. 
 
 ප‍්‍රභාකරන් නමැති මිනීමරුවා ඝාතනයෙන් පසු මේ රටේ ජනතාව සතුටට පත්වූ තවත් සිදුවීමක් පසුගිය 5 වැනිදා වාර්තා වුණේය. ඒ මුළු රටටම මහා පිළිලයක් බවට පත්ව සිටි මාකඳුරේ මධුෂ් නමැති පාතාල මිනීමරුවා ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමේ පුවත සැලවීමත් සමගය.
 
 කිරිබත් කමින් ප‍්‍රීති උත්සව නොපැවැත්වුවද රටේ සමස්ත ජනතාව මාකඳුරේ මධුෂ් නමැති පාතාල මිනීමරුවා අල්ලා ගැනීම පිළිබඳව හදවතින්ම සතුටු වූහ. ජනතාව එසේ සිය සතුට ප‍්‍රකාශ කළේ ඒ තරමටම මේ මැරයා මුළු රටේම ජනතාව භීතියට පත් කරගෙන රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයට ගොදුරු කරගෙන සිටි නිසාය.
 
 madush mainමෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින් වූයේ නිහාල් වික‍්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ය. නාවල නිහාල් අද ජීවතුන් අතර නැත. මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධවල නිරත වූ නාවල නිහාල්ගේ නායකත්වයෙන් යුුත් පාතාල කල්ලිය එදා මුළු රටම භීතියට පත්කරගෙන සිටියේය.
 
 එදා නාවල නිහාල් සිදුකළ අපරාධ මෙන් සිය ගුණයක අපරාධ සිදුකරමින් මුළු රටම භීතියට පත් කරගෙන සිටින මාකඳුරේ මධුෂ් වර්තමාන පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හඳුන්වයි.
 
 මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකට මායිම් නොකරන සමස්ත සමාජයට මෙන්ම මුළු රටටම මහා පිළිලයක් බවට පත්ව සිටින මේ පාපතරයා මේ වන විට විනාශ කර ඇති ජීවිත ප‍්‍රමාණය සිය ගණනකි.
 
 වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ හෙරොයින් ටොන් ගණනින් ශ‍්‍රී ලංකාවට එවා රටේ තරුණ පරපුර විනාශ කර දැමීමේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ මාකඳුරේ මධුෂ් නමැති පාපතරයා රටටම මහා හිසරදයක් වූ චරිතයක් බවට පත්ව සිටියේය.
 
 මාකඳුරේ මධුෂ් මේ සියලූ අපරාධ කළේ ඩුබායි දේශයේ සිට බව ශ‍්‍රී ලංකා පොලිසිය සොයා ගෙන තිබුණේය. එහෙත් මේ මිනීමරුවා අත්අඩංගුවට ගැනීමට ක‍්‍රමවේදයක් පොලිසිය සතුව තිබුණේ නැත.
 
 මීට වසරකට පමණ උඩදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙරට එක්සත් එමීර් රාජ්‍ය තානාපතිවරයා මුණගැසී මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කළහ. එහිදී තානාපතිවරයා කියා සිටියේ මධුෂ් අල්ලා ගැනීමට සහාය වීමට නම් මෙරට රැඳී සිටින එමීර් රාජ්‍යයට අවශ්‍ය අපරාධකාරයන් පිරිසක් අල්ලා දීමට කටයුතු කරන ලෙසයි.
 
 මධුෂ් අල්ලා ගැනීමට ඩුබායි රාජ්‍යයේ සහාය ලබා ගැනීමේ වැඩපිළිවෙළ එතැනින් නතර විය. මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබා ගැනීමට ද පොලිසිය කටයුතු කළේය. අවස්ථා කිහිපයකදීම ඩුබායි පොලිසිය සමග සාකච්ඡා කළද මධුෂ් අත්අඩංගුවට ගැනීමේ සැලසුම් සියල්ල ගගට ඉනි කැපුවාක් මෙන් විය.
 
 පසුගිය වසර කීපයේදී මෙරට පාතාල ලෝකයේ සිදුවූ අපරාධවලින් වැඩි ප‍්‍රමාණයක් පිටුපස සිටියේ මාකඳුරේ මධුෂ්ය. රටේ විවිධ ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වූ පාතාල කල්ලි කීපයක් හැරෙන්නට ඉතිරි පාතාල කණ්ඩායම් සියල්ල මාකඳුරේ මධුෂ් සමග සබඳතා ගොඩනගා ගෙන සිටියේය. ඒ සියලූම පාතාල කල්ලි ක‍්‍රියාත්මක වුණේ මාකඳුරේ මධුෂ්ගේ නියෝග මතය.
 
madush3මොහු තමන්ට පක්‍ෂ සියලූ පාතාල කල්ලි මෙහෙයවමින් රට පුරා විවිධ අපරාධවල නිරත වූයේ තමන් පාතාල ලෝකයේ ගෝර්ඞ් ෆාදර් යැයි කියමින්ය.
 
 තම පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට ඩුබායි සිට දුරකථනවලින් කතාකර ඔවුන්ට මරණීය තර්ජන එල්ල කිරීමට පවා මේ පාතාල මැරයා පෙළඹී සිටියේ මොහු ඒ වන විට ගොඩනගා ගෙන සිටි පාතාල බලය නිසාය.
 
 පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරීන් කීප දෙනෙකුට මේ පාතාල මැරයා තර්ජනය කර තිබුණේය. කඹුරුපිටිය පොලිසියේ ස්ථානාධිපති ජයශාන්ත සහ මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරාට තර්ජනය කර තිබුණේ තම සංවිධානයේ සාමාජිකයන්ට හිරිහැර නොකරන ලෙස කියමින්ය.
 
 කටුවන පොලිසියේ සැරයන්වරයකුට දුරකථනයෙන් කතාකර ඔහුට සහ පවුලේ සාමාජිකයන්ට මරණීය තර්ජන කරනු ලැබුවේ තම කල්ලියේ සාමාජිකයන් කීප දෙනකු අල්ලා ගැනීම සඳහා පොලිසියට ඔත්තු ලබාදුන් බව කියමින්ය. මධුෂ්ගේ තර්ජන හමුවේ මේ නිලධාරියාට තම පවුලේ සාමාජිකයන් සමග ගම රට අතහැර යන්නට සිදු වුණේය.
 
 තර්ජනය කිරීම්, බලපෑම් කිරීම්වලින් නොනැවතුණු මධුෂ් පොලිස් නිලධාරීන් මරා දැමීමට පවා ඉදිරිපත් වුණේ තම පාතාල බලය පොලිස් දෙපාර්තමේන්තුවට පෙන්වීම සඳහාය.
 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දල නගර මධ්‍යයේදී ප‍්‍රහාර එල්ල කරන්නේ මධුෂ්ගේ නියෝග මතය. මෙම ප‍්‍රහාරයෙන් පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු නිලධාරීන් තිදෙනකු තුවාල ලැබූ අතර මහමග යමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් මරුමුවට පත්වූවේ මුළු රටම කම්පාවට පත් කරමින්ය.
 
 ඩුබායි දේශයේ සිට ශ‍්‍රී ලංකා පොලිසියට මේ ආකාරයට අභියෝග කරමින් සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා අල්ලා ගැනීමට නොහැකි වීම පිළිබඳව පොලිස් නිලධාරීන් ලැජ්ජාවට පත්ව සිටියහ. නිලධාරීන් ලක්‍ෂයකගෙන් සමන්විත පොලිස් දෙපාර්තමේන්තුව තඹ සතයකට මායිම් නොකරන මේ මැරයා තමන්ට අවශ්‍ය පුද්ගලයා අවශ්‍ය අවස්ථාවේදී ඝාතනය කළේය.
 
 පොලිසිය මොන සෙල්ලම් දැම්මද මධුෂ් තම ප‍්‍රධානම ආදායම් මාර්ගය වන හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියේය.
 
  
madush5පොලිස් විශේෂ කාර්ය බළකාය, ත‍්‍රස්ත විමර්ශන ඒකකය, මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන්ම රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ද මාකඳුරේ මධුෂ් අල්ලා ගැනීමට රහසිගත මෙහෙයුම් ක‍්‍රියාත්මක කර තිබුණේ පොලිසිය වෙත දිගින් දිගටම එල්ල වෙමින් තිබූ අවමානයෙන් ගැලවීම සඳහාය.
 
 පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂක ශ්‍රේණියේ නිලධාරියකු තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් මධුෂ් පිළිබඳ තොරතුරු සොයන්නට වුණේය.
 
 වසරකට ආසන්න කාලයක් තිස්සේ තම ඔත්තුකරුවන් මාර්ගයෙන් තොරතුරු එක්රැස් කරගත් මේ නිලධාරියා මධුෂ් නවාතැන් ගෙන සිටින ස්ථාන ඔහු ඇසුරු කරන පුද්ගලයන් මෙන්ම යන එන ගමන් බිමන් පිළිබඳව ද තොරතුරු රැසක් හෙළිකර ගත්තේය. පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක්ද මධුෂ් අල්ලා ගැනීමේ රහසිගත මෙහෙයුමට එක්ව සිටියහ.
 
ශ‍්‍රී ලංකා පොලිසියට ඩුබායි දේශය වෙත ගොස් මධුෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගැටලූ රාශියක් මතුව තිබුණේය. ඒ නිසා මධුෂ් ඩුබායි දේශයේ දීම විනාශ කිරීමේ සැලසුමක් සකස් වෙමින් තිබුණේය.
 
 මෙම මෙහෙයුමට එක්තරා ධනවත් ව්‍යාපාරිකයකු ද දායක වුණේය. මේ ව්‍යාපාරිකයා මධුෂ් විනාශ කිරීමේ සැලසුමට දායක වන්නේ කාලයක පටන් මොහු මධුෂ් සමග පැවැති ව්‍යාපාරික ආරවුලක් නිසාය.
 
 මේ ව්‍යාපාරිකයාගේ සමීපතම හිතවතකු පොලිස් නිලධාරියා සමග කාලයක සිට සබඳතාවක් ගොඩනගා ගෙන සිටියේය.
 
 මධුෂ් විනාශ කිරීමට සැලසුමක් ඇති බව පොලිස් නිලධාරියා දැන ගන්නේ ව්‍යාපාරිකයාගේ මිතුරකුගේ මාර්ගයෙන්ය. මුළු රටම විනාශ කරන මුළු රටටම මහා විෂබීජයක් බවට පත්වී සිටින මාකඳුරේ මධුෂ් නමැති මැරයා ජීවග‍්‍රහයෙන් ගැනීමට නොහැකි නම් ඔහු විනාශ කර දැමීම හෝ කළ යුතුය යන මතයේ සිටි පොලිස් නිලධාරියා ද මෙම මෙහෙයුමට සම්බන්ධ වුණේය.
 
 පොලිස් නිලධාරියාගේ ඔත්තුකරුවා තවත් තරුණයන් දෙදෙනකුත් මීට මාස කීපයකට උඩදී ඩුබායි දේශය බලා යන්නේ තම අරමුණ කෙසේ හෝ සාර්ථක කරගන්නා බවට වූ අදිටනෙන් යුතුවය.
 
 මධුෂ් සැගවී සිටින ස්ථාන මෙන්ම ඔහු පිළිබඳ සියලූ තොරතුරු පොලිස් නිලධාරියා විසින් ඩුබායි බලා ගිය තම ඔත්තුකරුවා ඇතුළු කණ්ඩායමට ලබා දුන්නේය. මධුෂ් විනාශ කිරීමට ගත් උත්සාහයන් සාර්ථක වුණේ නැත.
 
 පොලිස් නිලධාරියාට කතා කළ ඔත්තුකරු කියා සිටියේ මධුෂ් ඩුබායි දේශයේදී විනාශ කිරීම අපහසු කටයුත්තක් බවය.
 
 විනාශ කිරීමට අපහසු නම් කෙසේ හෝ මධුෂ් අල්ලා ගැනීමට කටයුතු කරන ලෙස පොලිස් නිලධාරියා තම පෞද්ගලික ඔත්තුකරු වූ මිතුරාට කීවේය.
 
 මාකඳුරේ මධුෂ් ඩුබායි දේශයේ ගත කළේ අති සුඛෝපභෝගී ජීවිතයකි. ඩුබායි දේශයේ සුවිසල් නිවාස කීපයකම හිමිකරුවකු වූ මේ පාතාල මැරයා තම ගෝලබාලයන්ද පිරිවරාගෙන හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියේය.
 
 මාකඳුරේ මධුෂ්ගේ නීත්‍යානුකූල බිරිඳ සහ පුත‍්‍රයා සිටියේ මාකඳුර ග‍්‍රාමයේය. ඩුබායි දේශයට පලාගිය පසු මධුෂ් අනියම් බිරින්දෑවරුන් කීප දෙනකුම ඇසුරු කළේය. ඒ අතරින් මහරගම කළු තුෂාර නමැති පාතාල මැරයාගේ බිරිඳ තම දෙවැනි කසාදය ලෙස තෝරා ගත්තේය.
 
 කළු තුෂාර ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ බිරිඳ ඩුබායි දේශයට ගෙන්වා ගත් මධුෂ් ඇය තම ස්ථිර දෙවැනි බිරිඳ කර ගත්තේය.
 
 ශ‍්‍රී ලංකාවේ අහිංසක තරුණ පරපුර වෙත හෙරොයින් ටොන් ගණනින් යවා ඔවුන්ගේ ජීවිත විනාශ කරමින් රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් උපයා ගත් මධුෂ් ඩුබායි දේශයේ ගත කළේ සෙල්ලක්කාර ජීවිතයකි. 
 
 මේ පාතාල මැරයා තම හිතමිත‍්‍රාදීන්ට අත දිගහැර මුදල් වියදම් කළේය. තමන්ට අවශ්‍ය වූ විට ශ‍්‍රී ලංකාවේ සිටින මිතුරන් ඩුබායි දේශයට ගෙන්වා ගෙන ඔවුන්ට සුරසැප ලබාදීමට මධුෂ් කටයුතු කළේය. තම පාතාල කල්ලියට සහාය දෙන පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිරතුරුවම මධුෂ් හමුවීමට ඩුබායි දේශයට ආහ.
 
දේශපාලනඥයන්, කලාකරුවන්, ක‍්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, පාතාල මැරයන් පමණක් නොව ආගමික නායකයන් පවා මධුෂ් මුණගැසීමට ඩුබායි දේශයට ආහ.
 
 මෙසේ පැමිණෙන සියලූ දෙනාටම ඉතාම ඉහළින් සත්කාර කර ඔවුන්ට මිල මුදල් වටිනා තෑගි බෝග ලබා දී ආපසු යැවීමට මධුෂ් නමැති මැරයා හැම විමට කටයුතු කළේය.
 
 අමල් පෙරේරා නමැති ගායකයා ද, රයන් වැන්ඩවඞ් නමැති රංගන ශිල්පියා ද මීට පෙර අවස්ථා කීපයකදීම මධුෂ් සමග ඩුබායි දේශයේ සාද පැවැත් වූවේය. මධුෂ් සමග විනෝද චාරිකාවලට එක් වුණේය. කොටින්ම ඔවුන් ඇසුරු කළේ ගජ මිතුරන් ලෙසය. 
 
 මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳට දියණියක් වූවාය. මේ වන විට ඇය වසරක සිගිත්තියකි. මධුෂ් තම දියණියගේ පළමු අවුරුද්ද සැමරීම වෙනුවෙන් විශාල සාදයක් පැවැත්වීමට තීරණය කළේය.
 
 සාදය ඩුබායි හි පිහිටි අති සුඛෝපභෝගී හෝටලයක් වන ජුමීරා මජීරා හෝටලයේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරිණි. තරු හයේ හෝටලයක් වන මෙය ඩුබායි හි මහා ධන කුවේරයන් නිතර සාද පවත්වන හෝටලයකි.
 
 උපන් දින සාදය සඳහා ශ‍්‍රී ලංකාවේ තම සමීපතම හිතවතුන් පිරිසකට ආරාධනා කිරීමට මධුෂ් අමතක කළේ නැත. එසේ පැමිණෙන සියලූ හිතමිත‍්‍රාදීන්ට ගුවන් ටිකට්පතේ සිට හෝටල් පහසුකම් පමණක් නොව ගමන් වියදම් පවා ලබාදීමට මධුෂ් සැලසුම් කළේය. මධුෂ් ආරාධනා කරන සෑම සාදයකටම ආරාධිතයන්ට මේ සියලූ පහසුකම් නිරන්තරයෙන් ලැබුණේය.
 
 උපන් දින සාදය වෙත අමල් පෙරේරාට මෙන්ම ඔහුගේ පුත‍්‍රයා වන නදීමාල් පෙරේරාට ද ආරාධනා ලැබිණි. ටෙලි නළුවකු වන රයන් වැන්ඩවඞ් මෙන්ම රූපවාහිනි රියැලැටි ගීත තරගාවලියකින් ජයගත් තරුණ ගායකයන් හය දෙනකුට ද මධුෂ්ගෙන් ආරාධනා ලැබිණි. ඔවුන් සියලූ දෙනා ඩුබායි දේශයට කැඳවා ගෙන ගොස් තිබුණේ ද අමල් පෙරේරා විසින්ය. 
  

amal  ඊට අමතරව තම හිතවත්කම් පවත්වන පොලිස් නිලධාරීන් දෙදෙනකුට, කළුතර බන්ධනාගාරයේ බුද්ධි අංශයේ කාලයක් සේවය කර ඉන් ඉවත් වූ බන්ධනාගාර නිලධාරියකුට ද මේ උපන් දින සාදයට ආරාධනා ලැබුණේය.
 
 තම පාතාල කල්ලියේ යාවජීව සාමාජිකයන් වන කන්චිපාන ඉම්රාන්, කෙසෙල්වත්තේ ඩිනුක, අංගොඩ සුද්දා, වැලිගම චුට්ටා, කෙසෙල්වත්තේ කොටහේනේ ජම්පටාවීදියේ සහ දකුණේ තවත් පාතාල මැරයන් රැසකට මේ සාදයට ඇරයුම් ලැබී තිබුණේය.
 
 දකුණු පළාතේ ප‍්‍රාදේශීය සභාවක තම හිතවත් මන්ත‍්‍රීවරයකුට සහ තවත් ව්‍යාපාරිකයන් පිරිසකට මෙන්ම කඹුරුපිටියේ සහ මාකඳුරේ පදිංචි තම හිතවතුන් පිරිසකටද මධුෂ් මේ උපන් දින සාදයට ආරාධනා කළේය.
 
 පෙබරවාරි 04 වැනිදා රාත‍්‍රිය එළඹෙමින් තිබුණේය. ඩුබායි දේශය සුරපුරයක් මෙන් විය. ජුමීරා මජීරා හෝටලයේ උඩුමහලේ සුඛෝපභෝගී ශාලාව වෙත මධුෂ්ගේ හිතවතුන් එකා දෙන්නා පැමිණෙන්නට වූහ. කොකේන් මත්ද්‍රව්‍ය මෙන්ම හෙරොයින් පානයට ඇබ්බැහි වූවන් පිරිසක් කල්තියාම හෝටලය වෙත ආවේ පදමට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ අරමුණ ඇතිවය.
 
 ජුමීරා මජීරා හෝටලයේ සුඛෝපභෝගී ශාලාව එකම විනෝද සාගරයකි. රස බොජුන් මෙන්ම ලොව මිල අධිකම විස්කි බ‍්‍රැන්ඩිවලින් සාදය අංග සම්පූර්ණ වී තිබුණේය. ගායන ශිල්පී අමල් පෙරේරා මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල මැරයන් පදමට කොකේන් පානය කළහ. මධ්‍යම රාත‍්‍රිය ආසන්න වුවද මධුෂ්ගේ දෙවැනි බිරිඳ හෝටලය වෙත පැමිණ සිටියේ නැත. ඇය ඒ වන විට තම වාසස්ථානයේ සිට හෝටලය කරා එමින් සිටියේ උපන් දිනය සමරන සිගිති දියණියද කැන්දාගෙනය.
 
 මධුෂ්ගේ උපන් දින සාදය මේ ආකාරයට ක‍්‍රියාත්මක වෙද්දී හෝටලය පිටත දැවැන්ත මෙහෙයුමක් සඳහා කටයුතු සම්පාදනය වෙමින් තිබුණේය. ඩුබායි පොලිසිය හෝටලය වැටලීමට සූදානම් වන බව මාකඳුරේ මධුෂ් දැන සිටියේ නැත.
 
 ශ‍්‍රී ලංකාවේ සිට ඩුබායි දේශයට පැමිණ සිටි මධුෂ්ගේ විරුද්ධවාදීන් පිරිස මත්ද්‍රව්‍යවලින් පිරුණු මේ සාදය පිළිබඳව ඒ වන විටත් ඩුබායි පොලිසිය වෙත තොරතුරු ලබාදී තිබුණේය.
 
 මාකඳුරේ මධුෂ් මෙන්ම එහි සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් පාතාල මැරයන් පිළිබඳ සියලූ තොරතුරු ඒ වන විට ඩුබායි පොලිසිය සොයාගෙන තිබිණි. 
 
 නොසිතූ වෙලාවක හෝටලයට කඩා වැදුණු ඩුබායි පොලිසිය මධුෂ්ගේ උපන් දින සාදයට පැමිණ සිටි සියලූ දෙනා අත්අඩංගුවට ගත්හ. ඒ වන විට සියයකට ආසන්න පිරිසක් සාදයට එක්ව සිටි අතර ඔවුන් සියලූ දෙනා පොලිසිය භාරයට ගත්තේය.
 
 අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර සිටි පුද්ගලයන් රඳවා ගත් ඩුබායි පොලිසිය සෙසු පිරිස මුදාහැරීමට කටයුතු කළේ ඔවුන් වෙත කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබූ නිසාය.
 
 අත්අඩංගුවට ගත් සැකකරුවන් කවුදැයි ඩුබායි පොලිසිය දැන සිටියේ නැත. ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලූ දෙනාගේ ඡායාරූප ඒ මොහොතේම ලබාගෙන ඒවා ශ‍්‍රී ලංකාවෙන් පැමිණ සිටි ඔත්තුකරුවන් වෙත යවා ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගත්හ.
 
 සැකකරුවන් සියලූ දෙනා රෝහලකට රැගෙන ගොස් ඔවුන්ගේ රුධිර සාම්පල් ලබා ගැනීමට පොලිසිය කටයුතු කළේ ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි සැකහැර ගැනීමටය.
 
 සාදයට එක්ව සිටි කෙසෙල්වත්තේ විනුක හොර රහසේම එම ස්ථානය මගහැර පොලිසියෙන් බේරී පලා ගොස් තිබුණේය.
 
 මේ අතර සාදය පැවැති ශාලාවේ තිබී කොකේන්, හෙරොයින්, මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය සැලකිය යුතු ප‍්‍රමාණයක් ද ඩුබායි පොලිසිය සොයාගෙන තිබුණේ මධුෂ් ඇතුළු නඩය කර මුලටම හිරකරමින්ය.
 
 ඒ වන විට මාකඳුරේ මධුෂ් අන්දමන්ද වී සිටියේය. වසර ගණනක් තිස්සේ ඩුබායි දේශයේ සිටියද කිසි දිනක පොලිසියට කොටුවී තිබුණේ නැත. සිදුවූයේ කුමක්ද යන්න මධුෂ්ට සිතා ගැනීමටවත් ඉඩක් නැත.
 
 අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්, අමල් පෙරේරා, කන්චිපාන ඉම්රාන් ඇතුළු සැකකරුවන් 34 දෙනකු ඩුබායිහි අල්රබා පොලිසිය වෙත රැගෙන ගියේ ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම සඳහාය.
 
 පෙබරවාරි 05 වැනිදා අලූයම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ඩුබායි රාජ්‍යයේ හිතවතකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. ඇමතුම ඉතාම සුබවාදී එකක් විය. ඇමතුම ලබාදුන් පුද්ගලයා මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කියා සිටියේ මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා ඇතුළු 34 දෙනකු ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින බවය.
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම ලේකම්වරයකුට කතා කර මේ පුවතේ සත්‍ය අසත්‍යතාව සොයා බලන ලෙස දැනුම් දුන්නේය. ලේකම්වරයා තමන් දන්නා හඳුනන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කීප දෙනකුට දුරකථනයෙන් කතාකර මේ පිළිබඳව විමසා සිටියේය.
 
 එහෙත් මධුෂ් අත්අඩංගුවට ගත් පුවත ඒ කිසිවකුත් දැන සිටියේ නැත. මේ පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවා දැන සිටියේ ද නැත.
 
 ලැබුණු තොරතුරේ සත්‍ය අසත්‍යතාව සොයන්නට උසස් පොලිස් නිලධාරීන් කටයුතු කළේ ඉන් පසුවය. පැය කීපයක් ගතවන විට මධුෂ් අත්අඩංගුවට ගත් පුවත පිළිබඳ සියලූ තොරතුරු හෙළිකර ගැනීමට ශ‍්‍රී ලංකා පොලිසියට හැකි විය.
 
 මෙම මෙහෙයුම සඳහා දායක වූ පොලිස් නිලධාරීන් ඒ වන විට මධුෂ් ඇතුළු පාතාල නඩය අත්අඩංගුවට ගැනීම පිළිබඳ සියලූ තොරතුරු ලබාගෙන සිටියහ.
 
 ඩුබායිහි සිටින තම ඔත්තුකරුවන් මාර්ගයෙන් ලබාගත් තොරතුරු තහවුරු කරගත් පොලිස් නිලධාරීන් ඒ බව ජනාධිපතිවරයාට මෙන්ම පොලිස්පතිවරයාට දැනුම් දීමට කටයුතු කළහ. මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ පාර්ශ්ව කීපයක් කියා සිටියේ මධුෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක වුණේ තම අධීක්‍ෂණය යටතේ බවය. මධුෂ් අල්ලා ගැනීම තම ගිණුම්වලට බැරකර ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් උත්සාහ කිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ සීතල යුද්ධයක් හටගෙන තිබෙයි.
 
 ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරාගේ සහ රංගන ශිල්පී රයන් වැන්ඩවඞ් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය විමර්ශන ආරම්භ කර තිබුණේය.
 
 මාකඳුරේ මධුෂ් සංවිධානය කළ සාද කීපයකටම අමල් පෙරේරා සහ රයන් වැන්ඩවඞ් සහභාගි වී තිබීම නිසා ඔවුන් මේ ජාවාරම්වලට සම්බන්ධතාවක් ඇත්දැයි යන සැකය විමර්ශන කණ්ඩායම් තුළ මතුව තිබුණේය.
 
 පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී එම්. ආර්. ලතීෆ්, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් අමල් පෙරේරාගේ සහ රයන් වැන්ඩවඞ්ගේ නිවාස එකවර වටලා පරීක්‍ෂා කළේ ඔවුන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ දැයි දැනගැනීම සඳහාය.
 
 අමල් පෙරේරාගේ මහරගම නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කොකේන් පාවිච්චියට යොදා ගන්නා කොපු දෙකක් සොයා ගැනීමට හැකි විය. අත්තිඩියේ පිහිටි රයන් වැන්ඩවඞ්ගේ නිවස වැටලූ පොලිසිය එහි සගවා තිබූ හෙරොයින් කිරා මැන ගැනීමට යොදාගන්නා ඩිජිටල් තරාදියක් අත්අඩංගුවට ගත්තේය. ඒ අතර තවත් වැදගත් සාක්‍ෂියක් පොලිසියට හමු වුණේය. ඒ කළු පැහැති විශාල ගමන් මල්ලකි. මේ ගමන් මල්ල හෙරොයින් ප‍්‍රවාහනයට යොදාගන්නා එකක් බව පොලිසිය එකවරම හඳුනා ගත්තේය.
 
 මීට මාස දෙකකට පමණ උඩදී දෙහිවල නැදිමාලේ ප‍්‍රදේශයේදී ශ‍්‍රී ලංකාවේ විශාලතම කුඩු තොගය සගවා තිබූ හෙරොයින් ගබඩාව පොලිසිය වටලනු ලැබීය. මේ කුඩු ගබඩාව පවත්වාගෙන ගියේ බංගලිදේශ ජාතිකයන් සහ මෙරට කුඩු ව්‍යාපාරිකයන් පිිරිසක් විසින්ය.
 
 මෙම කුඩු ගබඩාවේ තිබී හෙරොයින් ප‍්‍රවාහනයට යොදාගන්නා විශාල ගමන් මලූ කීපයක් පොලිසිය සොයා ගත්තේය. රයන්ගේ නිවසේ තිබී සොයා ගත්තේ නැදිමාලේ කුඩු ගබඩාවෙන් අල්ලාගත් විශාල ගමන් බෑග් වර්ගයේම එකක් බව පොලිසිය හඳුනා ගත්තේය.
 
 එයින් පැහැදිලිි වුණේ රයන් දෙහිවල නැදිමාලේ හෙරොයින් ගබඩාව සමග කිසියම් සම්බන්ධතාවක් පවත්නා බවය.
 
 තම පුත‍්‍රයාද කැන්දාගෙන ඩුබායි දේශයේ පැවැති පාතාල මැරයන්ගේ සාදයට එක්වූ ගායන ශිල්පී අමල් පෙරේරාට අවසානයේ සිදුවුණේ බන්ධනාගාරයේ ලැගීමටය.
 
 මත්ද්‍රව්‍ය සමග අමල් පෙරේරාට ඇත්තේ සමීප සබඳතාවකි. මීට පෙරද අමල් පෙරේරා ගැන මෙවැනිම කුණු කතාවක් අසන්නට ලැබුණේය. ඒ රුපියල් කෝටි ගණනක් වටිනා කැස්බෑවකු සොරාගෙන විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමල් පෙරේරාගේ නමද ඈඳී තිබුණේය.
 
 මර්වින් පෙරේරා යනු මුළු රටම ආදරය කළ ජනහදවත් දිනාගත් ගායකයෙකි. ගීතයෙන් ජන හදවත් මුසපත් කළ ඒ ගායන ශිල්පියා අද ජීවතුන් අතර සිටියේ නම් තම දරු මුණුබුරන් පත්ව ඇති ඛේදජනක ඉරණම දැක සියදිවි හානි කර ගන්නවා නිසැකය.
 
 ඩුබායි දේශයේ සැගවී සිටිමින් මෙරට ජනතාව භීතියට පත් කරමින් පාතාලය මෙන්ම හෙරොයින් ජාවාරම මෙහෙය වූ මාකඳුරේ මධුෂ් නමැති පාපතරයා කඹුරුපිටියේ හද්දා පිටිසර ගමක උපන් එකෙකි. 
 
 කඹුරුපිටිය නගරයේ පාසලකින් අධ්‍යාපනය ලැබූ මේ නරුමයා කුඩා කාලයේ සිටම දඩබ්බරයකු විය. අධ්‍යාපන කටයුතු සම්පූර්ණ නොකළ මාකඳුරේ මධුෂ් කඹුරුපිටිය නගරයේ රස්තියාදු කාරයන්ගේ සංගමයට බැඳුණේය.
 
 මාකඳුර මුලනිය ප‍්‍රදේශයේ අක්කර 04 ක රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි මධුෂ් සහ ඔහුගේ පියා එම ඉඩම සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර එය සංවර්ධනය කරන්නට පටන් ගත්හ.
 
 2006 වර්ෂය වන විට දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඩැනී හිත්තැටියගේ මහතාය. මාකඳුරේ මධුෂ් සහ පියා බලෙන් අල්ලාගෙන සිටි රජයේ ඉඩම් නැවත පවරා ගැනීමට ඩැනී හිත්තැටියගේ මහතා කටයුතු කළේය.
 
 මාකඳුරේ මධුෂ් ඩැනී හිත්තැටියගේ මහතා සමග වෛර බැඳගන්නේ මේ සිදුවීමෙන් පසුවය. ඒ වන විට මාකඳුරේ මධුෂ් කඹුරුපිටියේ රස්තියාදුකාරයන් සමග එක්ව කල්ලියක් ගොඩනගාගෙන සිටියේය. ඒ වන විට කඹුරුපිටියේ විවිධ චණ්ඩිකම් නීති විරෝධී ක‍්‍රියාවන් කිරීමට මේ කල්ලිය පෙළඹී සිටියද මිනීමැරුම් කොල්ලකෑම් වැනි බරපතළ අපරාධවල නිරතවී සිටියේ නැත.
 
 තමන් දුක් මහන්සියෙන් සංවර්ධනය කළ ඉඩම රජයට පවරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳ ඩැනී හිත්තැටියගේ මහතා සමග දැඩි වෛරයකින් පසුවූ මධුෂ් ඔහු විනාශ කර දැමීමට සැලසුම් කළේය.
 
 ඒ වන විට කොල්ලකෑමක් සම්බන්ධයෙන් මධුෂ් බන්ධනාගාරගතව සිටියේය. මීගමුව බන්ධනාගාරයේ සිට මධුෂ් තම වෛරකාරයා වන ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනයට සැලසුමක් සකස් කළේ ඉතාම රහසිගතවය.
 
 ඝාතනය සඳහා කුලී මිනීමරුවන් දෙදෙනකු යොදවනු ලැබීය. ඝාතන කොන්ත‍්‍රාත්තුව රුපියල් ලක්‍ෂ 4 ක් විය. මධුෂ් ඒ සඳහා මුදල් සොයා ගන්නේද කඹුරුපිටියේ ව්‍යාපාරිකයන් කීප දෙනකුට තර්ජනය කරමින්ය.
 
 කුලී මිනීමරුවන් යොදවා ඩැනී හිත්තැටියගේ මහතාට වෙඩි තබා ඝාතනය කළ මාකඳුරේ මධුෂ් කාලයක් තිස්සේ තම හදවතේ සිරකරගෙන සිටි වෛරය පිරිමසා ගත්තේය.
 
 මාකඳුරේ මධුෂ්ගේ අපරාධ ගිණුමට එක්වූ මුල්ම මිනිස් ඝාතකනය වූයේ ඩැනී හිත්තැටියගේ මහතා මරා දැමීමය. මේ වන විට මධුෂ්ගේ අපරාධ ගිණුමේ ඇති මිනිස් ඝාතන ප‍්‍රමාණය සියය ඉක්මවයි.
 
 ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයකු වූ රණාලේ සමයා ඇතුළු පුද්ගලයන් හය දෙනකු කළුතර බන්ධනාගාර බස් රථයකදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකරු වූයේ මධුෂ්ය.
 
 කොටහේනේ ඩ්‍රොප්මී නමැති ව්‍යාපාරයේ හිමිකරු වූ රිස්කාන් මීට මාස කිහිපයකට උඩදී වෙඩි තබා ඝාතනය කළේය. රිස්කාන් මාකඳුරේ මධුෂ්ගේ සමීපතම මිතුරා විය. මධුෂ් ඔහුට සැලකුවේ සොහොයුරකුට සලකන ලෙසය.
 
 ඩ්‍රොප්මී ව්‍යාපාරයට මාකඳුරේ මධුෂ්ද මුදල් යොදා තිබුණේය. රිස්කාන් ඝාතනය කර තිබුණේ කඩුවෙල ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වූ පාතාල කල්ලියක් විසින්ය. ඔවුන් රිස්කාන් මරා දැමුවේ මධුෂ්ගෙන් පලි ගැනීමටය.
 
 රිස්කාන් ඝාතන සිද්ධියෙන් මධුෂ් දැඩි ලෙස කෝපයට පත් වුණේය. මේ ඝාතනයට ගෑවුණු සියලූ පුද්ගලයන් මරා දැමීමට මධුෂ් පසුබට වුණේ නැත.
 
 කොස් මල්ලී ඝාතනය වන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. අගුණකොළපැලැස්සේදී කොස් මල්ලි වෙඩි තබා ඝාතනය කරන මධුෂ්ගේ ගෝලබාලයන් ඔහුගේ කඳෙන් වෙන් කරන හිස කොටස අලූත්කඬේ උසාවිය අසලට ගෙනවිත් දමන්නේ රිස්කාන් ඝාතනයෙන් තම හිතේ බුර බුරා නැගෙන වෛරය පිරිමසා ගැනීමටය.
 
 පසුගිය කාල සීමාවේ කොළඹ කොටහේන ජම්පටාවීදිය, මාලිගාවත්ත ඇතුළු ප‍්‍රදේශ ගණනාවක මිනීමැරුම් වැළක් සිදුවුණේය. ඒ මිනීමැරුම් බොහොමයක් පිටුපස සිටියේද මධුෂ්ය.
 
 මාකඳුරේ මධුෂ්ගේ පරම සතුරා වුණේ කොස්ගොඩ සුජීය. සුජීගේ කල්ලියේ විශාල පිරිසක් පසුගිය කාලය පුරා මරා දැමූ මධුෂ්ගේ කල්ලිය තම පාතාල බලය දකුණු පළාත පුරා ව්‍යාප්ත කළේය.
 
 දකුණු පළාතේ මුහුදුබඩ ප‍්‍රදේශයේ පිහිටි බහුතරයක් සංචාරක හෝටල්වලින් මධුෂ් මාසිකව කප්පම් මුදල් ලබා ගත්තේය.
 
 දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් හෙරොයින් ජාවාරම ආරම්භ කළ මධුෂ් එය රට පුරාම ව්‍යාප්ත කළේය. දකුණේ මුහුදු දුම්රිය මාර්ග ඔස්සේ හෙරොයින් ටොන් ගණනින් එවූ මධුෂ් ඒ හරහා කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් ඉපයුවේය.
 
 දකුණේ ප‍්‍රබල දේශපාලනඥයන් තිදෙනකු මධුෂ් සමීපව ඇසුරු කළේය. මධුෂ් නමැති රස්තියාදුකාරයා පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකු බවට පත් වන්නේ මේ දේශපාලනඥයන් මොහුට ලබාදුන් රැකවරණය නිසාය.
 
 තම හිතවත් දේශපාලනඥයන්ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් මධුෂ් අතදිග හැර වියදම් කළේය. තම ගෝලබාලයන් පවා මැතිවරණ කටයුතුවලට යෙදවීමට මධුෂ් පියවර ගෙන තිබුණේය.
 
 ශ‍්‍රී ලංකා පොලිසියෙන් සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලින් මධුෂ්ට දිගින් දිගටම තර්ජන එල්ල වීම නිසා ඔහු රට හැර යෑමට සැලසුම් කළේය. මුස්ලිම් ජාතිකයකු ලෙස වෙස්වලාගත් මධුෂ් මුස්ලිම් ජාතිකයකුගේ ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් යොදාගෙන රටින් පලා ගියේය.
 
 රටේ පියවරුන් සිය ගණන් මරා දමා දරු පවුල් අනාථ කළ මධුෂ් නමැති පාපතරයා තම පියාගේ අවමංගල උත්සවයට අහසින් මල් ඉසිනු ලැබුවේය.
 
 එතැන් සිට මෙරට පාතාලයත් හෙරොයින් ජාවාරමත් මෙහෙයවන්න පටන් ගත්තේය.
 
 වසර ගණනක් තිස්සේ මුළු ශ‍්‍රී ලංකාවම භීතියට පත් කරගෙන සිටි මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා අද සිටින්නේ ඩුබායි පොලිසියේ අත්අඩංගුවේය. පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව රටේ සමස්ත ජනතාවම බලාපොරොත්තු වූ ප‍්‍රාර්ථනා කළ දෙය අද සිදුව තිබේ.
 
 දැන් කළ යුත්තේ මධුෂ් අල්ලා ගැනීමේ ගෞරවය තමන් වෙත ලබා ගැනීමට කුලල්කා ගැනීම නොව කෙසේ හෝ මේ පාතාල මැරයා ශ‍්‍රී ලංකාවට ගෙන්වාගෙන මෙතෙක් කලක් මොහු කළ අපරාධවලට මේ
ආත්මයේදීම දඬුවම් ලබාදීමය.
-දිවයින ඉරිදා සංග‍්‍රහය

No comments:

Post a Comment

Post Bottom Ad