සල්ලි දීලා මැරෙන්නට ඕන නම් ඞී‍්‍රම්ස් පැරඩයිස් පාක් එකට එන්න,ළමා උද්‍යානවල විනෝදයට යෑමට පෙර මේ ලිපිය කියවන්න! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 9, 2019

සල්ලි දීලා මැරෙන්නට ඕන නම් ඞී‍්‍රම්ස් පැරඩයිස් පාක් එකට එන්න,ළමා උද්‍යානවල විනෝදයට යෑමට පෙර මේ ලිපිය කියවන්න!

Loading...

කුඩා දරුවන්ගේ කෙළි කවට බස්වලින් දඟකාරකම්වලින් පසුගිය නිදහස් දිනය (04 දා) පුරාම වේයන්ගොඩ නයිවල ප‍්‍රදේශයේ පිහිටි ඞී‍්‍රම්ස් පැරඩයිස් ළමා උද්‍යානය පිරී ගොස් තිබුණේය. දරුවන් සමඟ නිදහසේ විනෝදයෙන් ගත කරන්නට දෙමවුපියන් ද එදින එම උද්‍යානයට පැමිණ තිබුණේ දිනය පුරාවටම ඔවුන් සමග ගත කිරීමේ අදහසිනි. නමුත් ඒ සියලූ බලාපොරොත්තු එක නිමේෂයකින් බිඳී ගියේ උදෑසන 11.30 ට පමණ උද්‍යානයේ කතුරු ඔන්චිල්ලාව දෙසින් ඇසුණු මර විලාපයෙනි. එම ඔන්චිල්ලාවේ ගමන් කළ පිරිසත් ඒ අවට සිටි පිරිසත් විලාප දෙන්නට පටන් ගත්තේ කතුරු ඔන්චිල්ලාවේ ගමන් කළ මවක් සහ දියණියක් එයින් විසිවී වැටෙනවා දැකීමෙනි.

 මේ මවත් දියණියත් එම ළමා උද්‍යානයේ පිහිටා තිබූ කතුරු ඔන්චිල්ලාවට ගොඩවී ඇත්තේ තම දියණියගේ ඇවිටිලි කිරීම මතය. ඔවුන් දෙදෙනාම කතුරු ඔන්චිල්ලාවේ එක් බක්කියක සවිකර තිබූ ආසන දෙකක වාඩිවී ඇත. ටික වේලාවක් යනතුරු කිසිදු ගැටලූවකින් තොරව ඔවුන් එහි ගමන් කර ඇති අතර මවත් දියණියත් දෙදෙනාම ඉතා විනෝදයෙන් සිට ඇත. නමුත් ඔවුන් දෙදෙනාටම වැඩි වේලාවක් සතුටින් සිටීමට මාරයා ඉඩ ලබා දුන්නේ නැත. එකවරම ඔවුන් දෙදෙනා ගමන් කළ කතුරු ඔන්චිල්ලාවට සවිකර තිබූ බක්කිය එහි ආධාරකයෙන් ගැලවී විසිවී යන්නට විය. ඒ සමගම එහි ගමන් කළ මවත් දියණියත් ඉන් පිටතට විසිවී ගොස් ඇත.

 ඒ අවට සිටි පිරිස මෙම දෙදෙනාම ගම්පහ දිස්ති‍්‍රක් මහ රෝහලට ඇතුළත් කර ඇත. නමුත් රෝහලට ඇතුළත් කරන විටත් එම දියණියගේ මව මියගොස් තිබුණි. එම මව අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇත. දියණිය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ගම්පහ රෝහලින් මාරු කර යවා ඇතත් ඉතාමත් අවාසනාවන්ත ලෙසින් ඇයත් පසුගිය 5 වැනිදා පෙරවරුවේදී තම ජීවිතයෙන් සමුගෙන යන්නට ගොස් ඇත.

 මෙලෙස මියගොස් ඇත්තේ උඩුගම්පොල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන 47 හැවිරිදි දිස්නා ජානකී ගංගොඩවිල නමැති කාන්තාවක් සහ උඩුගම්පොල ප‍්‍රදේශයේ පාසලක 8 වැනි ශේ‍්‍රණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි ඇයගේ දෙවැනි දියණිය වන රශ්මි අරලියා නම් දැරියකි. ඔවුන් ගමන් කළ කතුරු ඔන්චිල්ලාවේ එම අනතුර වන අවස්ථාවේ ගමන් කළ වෙනත් කිසිදු පුද්ගලයකු සිද්ධියෙන් තුවාල ලබා නොමැති බව වේයන්ගොඩ පොලිසිය පවසා ඇත.

 මෙම කතුරු ඔන්චිල්ලාව ඞී‍්‍රම්ස් පැරඩයිස් ළමා උද්‍යානයට පැමිණෙන පොඩිත්තන්ගේ පි‍්‍රයතම ස්ථානයයි. බූවල්ලෙකුගේ හැඩයට නිර්මාණය කර ඇති මෙම කතුරු ඔන්චිල්ලාවේ ගමන් කිරීමට කුඩා දරුවන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. ඒ කැමැත්ත නිසාම මෙම දියණිය තම මවට ඔන්චිල්ලාවේ රවුමක් යන්නට එන්න යැයි පවසා ඇත. ඔවුන් දෙදෙනා ජීවිතයේ ගිය අවසන් රවුම එයම විය. මේ කතුරු ඔන්චිල්ලාව ඔවුන්ට ජීවිතය අහිමි කරවන මාරයෙක් බව ඔවුන් දෙදෙනාම සිහිනෙකින්වත් හෝ සිතන්නට නැත. නමුත් අවසානයේ සිදුවූයේ නිවාඩු දිනයේ විනෝදවන්නට ගොස් ජීවිතයෙන්ම සමුගන්නටය. ජීවිතයේ හැටි එහෙමය. ජීවිතය ‘තණ අග රැඳි පිණි බිංඳුවක්’ මෙන් අස්ථිර බව කියන්නේ ඒ නිසාය. වේයන්ගොඩ පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි. පොලිසිය විසින් සිදුකරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී මෙම කතුරු ඔන්චිල්ලාව භාරව කටයුතු කරන පුද්ගලයා පවසා ඇත්තේ කතුරු ඔන්චිල්ලාව කි‍්‍රයාත්මක කර වට කිහිපයක් යෑමෙන් පසු එක්වරම එහි බක්කියක් ආධාරකයෙන් ගැලවී විසිවී ගිය බවයි. ඒ බව දුටු වහාම යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කිරීම නවතා තුවාල ලබා වැටී සිටි දෙදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

 මෙම සිද්ධියෙන් පසු එම ළමා උද්‍යානයේ කී‍්‍රඩාගාරය වසා තැබීමට එහි පාලකයන් පියවර ගෙන තිබේ. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් 6 දෙනකු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම කතුරු ඔන්චිල්ලාවේ ආසන ගැලවී යෑමට හේතුව එම ආසන දිරාපත්ව මළ බැඳී තිබීම බවත් එහි නඩත්තුවක් නොමැති බවත් නිසා බව පොලිසිය පවසයි. ඒ හේතුව මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවීමට හේතුවී ඇති බව වේයන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පවසා ඇත.

 ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, අත්තනගල්ල පොලිස් අධිකාරි ඉන්දික සිල්වා යන නිලධාරීන්ගේ උපදෙස් මත වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුජීව සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

 අනතුරින් මියගිය කාන්තාව දියණියන් තිදෙනකුගේ මවකි. මවත් සමගින් එම කතුරු ඔන්චිල්ලාවේ ගොස් ඇත්තේ දෙවැනි දියණියයි. මෙම සිද්ධිය ඇසින් දුටු මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන සියඹලාපිටියගේ වසන්ත කුලසේකර මහතා එම සිදුවීම විස්තර කළේ මෙලෙසය.

 ‘අපි ගෙදර හැමෝම පසුගිය 3 වැනිදා රාති‍්‍රයේ කතා වුණා හෙට නිදහස් දිනය නිසා නයිවල පාර්ක් එකට යමු කියලා. මමත් කිව්වා එහෙනම් යමු ඔයාලගේ ආසාවනේ කියලා. අපි උදේ 10 ට විතර තමයි මෙතැනට ආවේ. රුපියල් 350 ක ටිකට් එකකුයි 500 ක ටිකට් එකකුයි ගත්තා පාර්ක් එකට යන්න. පොඩි පොඩි සෙල්ලම් යන්ත‍්‍රවල විතරක් යන්න ලොකු ඒවාවල යන්න එපා ඔයාලා වැටෙයි කියලාත් කිව්වා. චූටි දුව කිව්වා එයාට මෝටර් බයිසිකලේ යන්න ආසයි කියලා. ඒත් එයා වටයක් ගිහින් නැවතුණා බයයි කියලා. පස්සේ අරලිය දුව කිව්වා මේ බූවල්ලගේ යන්න ඕන කියලා. මම කිව්වා එහෙනම් අම්මත් එක්ක පරිස්සමෙන් දෙයියන්ගේ පිහිටෙන් ගිහින් එන්න කියලා. අපි ඒ ළඟට වෙලා බලන් හිටියා. ඊට පස්සේ මෙහේ එක්කෙනෙක් ඇවිත් බෙල්ට් එක දැම්මා. වට දෙකක් විතර ගියා තුන්වෙනි වටේ යද්දී පෙට්ටිය ගැලවිලා ගියා. මගේ නෝනවයි දරුවවයි විසිවෙලා කානුවට වැටුණා. මම කෑ ගැහුවා අනේ මේ දෙන්නව ඉක්මනට රෝහලට ගෙනියන්න කියලා. ඒත් කවුරුවත් සත පහකටවත් ගණන් ගත්තේ නෑ. මේ අය වැටිලා ඉන්නකොටත් වට දෙකක් විතර මේක කැරකුණා. ඒ නිසා වැටිලා හිටිය මගේ නෝනගෙ මූණේ වැදුණා ඒ මැෂින් එක. පැය භාගයකින් විතර පස්සේ තමයි මෙතන බලන්න ආපු අය මේ දෙන්නව අරන් ගියේ රෝහලට. අනිත් අය ගල් ගැහිලා වගේ බලන් හිටියා.’

 ඔහු එසේ පැවැසුවේ තම දියණියත් ආදරණීය බිරිඳත් අහිමි වීමේ වේදනාව දරාගත නොහැකිවය. ඔහු පවසන ආකාරයට ඔහුගේ බිරිඳව එම ස්ථානයෙන් රෝහලට ගෙන යන විටත් මියගොස් සිට ඇත. ඔහුගේ දියණියත් ඒ අවස්ථාවේ හුස්මවත් නොගෙන වැටී සිටී බව ඔහු පැවැසුවේය. ගම්පහ රෝහලේ වෛද්‍යවරු ඔහුට පවසා ඇත්තේ දියණිය බේරා ගැනීමට පුළුවන්වේදැයි නිශ්චිතව කිව නොහැකි බවය. ඒ විලසටම ඇයද පසුගියදා ජීවිතයෙන් සදහටම සමුගත්තාය.

 මේ අසරණ තාත්තා තවත් දියණියන් දෙදෙනෙක් සමග මේ ලෝකයේ තනිවිය. ඔහුට තම බිරිඳ ද නැත. ආදරණීය දුවණිය ද නැත. ඔහුගේ ඇස් ඉදිරියේම ඔවුන් දෙදෙනාම මිය ගියහ. ඔහුට ඒ වේදනාව දරා ගැනීමට නොහැකිය. තම මව ඉල්ලා හඬන බාලම දියණියත්, වැඩිමහල් දියණියත් සනසන්නට ඔහුට කියන්නට වචන නැත. ඔහු ප‍්‍රාර්ථනා කරන්නේ මෙවන් විපතක් කිසිවෙකුටවත් සිදුනොවේවා කියාය.

 මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවී ඇත්තේ ඔවුන්ගේ මරණය සිදුව ඇත්තේ යකඩ කණුවක හිස වැදීමෙන් මොළයට ලේ ගමන් කිරීමෙන් බවය. ඔවුන් ගමන් කළ බක්කිය එකවරම කතුරු ඔන්චිල්ලාවෙන් ගැලවී යන අතරවාරයේ ඔවුන් දෙදෙනාම විසිවී ගොස් යකඩ කණුවක හිස වැදී ඇත. එයින් හිසට ඇතිවූ අධික තෙරපුම නිසා ඔවුන්ට ජීවිතයෙන් සමුගන්නට සිදු විය.

 ගම්පහ වැඩබලන මහෙස්ත‍්‍රාත් මහේෂ් හේරත් මහතා පසුගිය 5 වැනිදා ගම්පහ මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මෙම මළ සිරුරු පරීක්‍ෂාවට ලක්කර පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙසට ගම්පහ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාට නියම කළේය. ඒ අනුව මෙම පරීක්‍ෂණය පැවැත්විය.

 මෙම මව සහ දියණියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ළමා උද්‍යානයේ හිමිකරු, කළමනාකරු සහ එම යන්ත‍්‍ර කි‍්‍රයාකරු ඇතුලූ 6 දෙනා අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 13 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියම කර ඇත.

 වේයන්ගොඩ පොලිසිය පවසන්නේ මෙම ගැලවී ගිය ආසනය බූවල්ලා නමැති යන්ත‍්‍රයට සවිවී තිබූ ස්ථානය මළ බැඳී තිබූ අයුරු දකින්නට තිබූ බවය. එම බූවල්ලා යන්ත‍්‍රයේ ආධාරයෙන් බක්කිය ගැලවී යෑම පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම සම්බන්ධව එම ගැලවී ගිය අසුන සහිතව බක්කිය රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවද පොලිසිය පවසයි.

 මෙම ළමා උද්‍යානයේ තාක්‍ෂණික නිලධාරීන් ලෙස සේවයේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනාට කිසිදු තාක්‍ෂණික දැනුමක් නොමැති බව පොලිසිය විසින් සිදුකරන ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත. මෙම මාරාන්තික සිදුවීම ඞී‍්‍රම්ස් පැරඩයිස් නම් ළමා උද්‍යානයේ සිදුවූ පළමු සිදුවීම නොවන බව වේයන්ගොඩ පොලිසිය පවසයි. මීට පෙරද මෙම ළමා උද්‍යානයේදී කුඩා දරුවකු මියගොස් ඇත.

 ඒ 2016 වසරේ අගෝස්තු මස 7 වැනිදාය. කැලණිය ප‍්‍රදේශයේ පෙර පාසල් දැරියන් පිරිසක් රැගෙන මෙම ළමා උද්‍යානයට විනෝද චාරිකාවක් පැමිණි අවස්ථාවකදී එම පෙර පාසල් දරුවකුගේ වැඩි මහල් සහෝදරයා මෙහි ඇති පිහිනුම් තටාකයේ ගිලී මියගොස් ඇත. ඒ සම්බන්ධව එහි හිමිකරු ඇතුළු කිහිප දෙනෙක්ට නඩු පවරා ඇති බවද පොලිසිය පවසයි.

 මෙම ළමා උද්‍යානයේ විවිධ කි‍්‍රයාකාරකම්වලට යා යුත්තේ මුදල් ගෙවා ටිකට් පතක් රැගෙනය. මේ සිදුවන සිදුවීම් දෙස බලද්දී ‘සල්ලි දීලා මැරෙන්නට ඕන නම් ඞී‍්‍රම්ස් පැරඩයිස් පාක් එකට එන්න කියලා’ යමෙක් පැවසුවහොත් එහි වරදක් ද නැත. මෙම ළමා උද්‍යානයේ හිමිකරුට මීට පෙර අවස්ථාවකදී ද පොලිසියෙන්ම පවසා ඇත්තේ ඔහුගේ උද්‍යානය හරි ආකාරව නඩත්තු කරගෙන යා යුතු බවය. නමුත් ඔහු ඒ කිසිවක් සත පහකට හෝ ගණන් ගෙන නැත. මුදලට තණ්හාවේ අහිංසක දරුවන්ගේ ජීවිත ඔහු අනතරුට ලක්කර ඇත. මොහුගේ ළමා උද්‍යානයේ සේවය කළ තාක්‍ෂණික ශිල්පීන් ද ඒ විෂය පිළිබඳව කිසිවක් නොදන්නා පිරිසක්ය. කීයක් හෝ හොයා ගන්නට ඔවුන් මෙම රස්සාවට බැඳුනත් මෙහි ඇති බරපතළකම පිළිබඳව ඔවුන්ට කිසිදු අවබෝධයක් නැත. මොවුන් මේ සෙල්ලම් කරන්නේ අසරණ දරුවන්ගේ වටිනා ජීවිත සමගය.

 අශිකා ජයවීර
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad