අඩු වියදම් බලාගාර ඉදිකිරීම ප්‍රමාද කර අධික මිලට විදුලිය මිලදී ගැනීමේ කුමන්ත්‍රණයෙන් ලංවිම බංකොලොත් වෙයි.
පසුගිය වසර පහ තුලදී ඉදිකල යුතුව තිබු මෙගා වොට් 1000ක පමණ අනුමත අඩු වියදම් බලාගාර ඉදිකිරීම පැහැර හැරීම නිසා රුපියල් 16ක පිරිවැයකට සීමා වී තිබු විදුලි ඒකකයක මිල රුපියල් 25 ට ආසන්න වී ඇත. ලංකා විදුලි බල මණ්ඩලය මේ වසරේදී රුපියල් බිලියන 100කට වැඩි පාඩුවක් ලබනු ඇතැයි එහි බලධාරීන් ප්‍රකාශ කර තිබේ. මේ අධික පාඩුව පියවාගැනීම සදහා ලංවිම විදුලිබිල ඉහල දැමුවහොත් විදුලි ඒකකය රුපියල් 10කින් පමණ ඉහල යනු ඇත. එසේ වුවහොත් සියයට 80ක් පමණ දුප්පත් විදුලි පාරිභෝගිකයාගේ මාසික විදුලි බිල රුපියල් 500කට වැඩි මුදලකින් ඉහල යාමට පුළුවන. ලංකා විදුලිබල මණ්ඩලය මෙම මුල්‍ය අර්බුදයට ඇද දමා ඇත්තේ එය පාලනය කරන ඉංජිනේරුවන් හා කළමණාකාරුවන් විසිනි. වසර 2014න් පසුව එකම අඩු වියදම් බලාගාරයක් හෝ ඉදිකිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් විසින් සැළසුම් සහගතව අඩු වියදම් බලාගාර ඉදිකිරීම ප්‍රමාද කරන හෙයිනි. මේ දක්වා ඉදිකිරිමට නියමිත ව බලගාර ප්‍රමාණය මෙගා වොට් 1000කට අධික විදුලි ධාරිතා ප්‍රමාණයකි. එම විදුලි බලාගාර නිසි කලට ඉදිකර තිබුණා නම් මේ වන විට අපට විදුලි අතිරික්තයක් ඇති වී විදුලි බිල අඩුකිරීමටද ඉඩකඩ තිබුණි.
සදහන් අඩු වියදම් බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයට හිටපු විදුලිබල ලේකම්වරයාද වගකිව යුතුයි. ඔහු විසින් පසුගිය කාලය පුරාවට කලේ විදුලිබල පනතට පටහැනිව කෙටිකාලීන පදනම මත ටෙන්ඩර් වලින් තොරව හදිසි විදුලිය මිලදී ගැනීමයි. මේ ආකාරයට ඒස් ඇඹිලිපිටිය විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 500කට අධිකය. ඇඹිලිපිටිය විදුලි බලාගාරය මෙගාවොට් 100ක විදුලි බලාගාරයකි. එම විදුලි බලාගාරය සමග කෙටිකාලීන ගිවිසුම් මත විදුලිය මිලදී ගැනීම නිසා ලංවිමට සිදුව ඇති පාඩුවේ තරම එවැනි විදුලි බලාගාර 2ක් මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් මුදලකි. මෙවැනි නීති විරෝධී විදුලි ගිවිසුම් තවත් ඇත්නම් ඒවාද හෙලිකරන ලෙස අපි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමු.
විදුලිය මිලදී ගැනීමේදී පමණක් නොව විදුලි බලාගාර කළමණාකරණයේදී දුෂණ සිදුවන බව හෙලී වී තිබේ. වසර 2014 නිමා කල නොරොච්චෝලේ බලාගාරයේ මෙහෙයුම් කටයුතු එම වසරේදී ම ලංවිම විසින් බාරගෙන නොමැත. ඒ වෙනුවට නිසි අනුමැතියකින් තොරව බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2016 දක්වා සිදුකර ඇත්තේ චයිනා මැචිනරි ඉංජිනේරින් නම් සමාගම විසිනි. එම සමාගම මෙහෙයුම් ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 50ක් ඉල්ලා ඇති බව වාර්තා වේ. එම මුදලින් කොටසක් මේ වන විට ගෙවා ඇති බවද හෙලි වී ඇත. නොරොච්චෝලේ බලාගාරයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකුගේ පුත්‍රයා චයිනා සමාගමේ සේවකයෙකු බවද හෙලී වී ඇත. මෑතකදී මෙම චයිනා සමාගමටම නොරොච්චෝලේ බලාගාරයේ සිව්වන අදියර හෙවත් තවත් මෙගා වොට් 300ක ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීම සදහා ලංවිම විසින් ආරාධනා කර ඇත. ජනාධිපතිවරණයට දින කීහිපයට පෙර යවා ඇති මෙම ලිපියෙන් පලකර ඇති එකගතාවයට රජයේ නිසි අවසරයක් ලබා ගෙන නැත. ලංවිම ඉංජිනේරුවන් හිතුවක්කාරී ලෙස ක්‍රියා කරන බව මෙයින් පැහැදිලි වේ.
ලංවිම දුෂණ අතර තවත් ප්‍රධාන දුෂනයක් වන්නේ ඉංජිනේරුවන් විසින් උපයන විට බදු ගෙවා හැරීම පැහැර හැරීමයි. රජයේ විගණකාධිපති වරයා හෙලි කර ඇත්තේ 2010 වසරේ සිට ඉංජිනේරුවන් විසින් උපයන විට බදු ගෙවීම පැහැර හැර ඇති බවයි. එසේ පැහැර හැර ඇති මුලු මුදල රුපියල් කෝටි 500කට අධිකය. එය විශාල මෙගාවොට් 200ක පමණ විදුලි බලාගාරයක් සෑදීම සදහා ප්‍රමාණවත් මුදලකි. ලංවිම ඉංජිනේරුවන් විසින් පැහැර හැර ඇති ආදායම් බදු ගෙවා ඇත්තේ මෙරට විදුලි පාරිභෝගිකයින් විසිනි. පාරිභෝගික අයීතින් සුරැකීමේ ව්‍යාපාරය බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ මෙම රුපියල් කෝටි 500කට අධික බදු මුදල ලංවිම ඉංජිනේරුවන්ගෙන් වහාම අය කරගෙන විදුලි බිල අඩු කිරීමට පියවර ගත යුතු බවයි. එසේම පසුගිය කාලය තුල ඇතැම් ලංවිම විදුලි ඉංජිනේරුවන්ගේ වත්කම් පිලිබද වහාම විමර්ශනයක් ආරම්භ කල යුතු බවටද අවධාරණය කරමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
No comments:
Post a Comment