මව්බිමේ දරුවන් වෙනුවෙන් වූහාන් මරු කටට ගිය ගුවන් විරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හරසර ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

මව්බිමේ දරුවන් වෙනුවෙන් වූහාන් මරු කටට ගිය ගුවන් විරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හරසර !

චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වෙමින් ඔවුන් කැඳවාගෙන ඒමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කෘතඥතාව පළකර සිටී.
යූ.එල්. 1423 අංකය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් චීනයේ වූහාන් බලා ඊයේ (31 වැනිදා) පිටත්ව ගිය මෙම කාර්ය මණ්ඩලය වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනකු රැගෙන අද (1 වැනිදා) උදෑසන මත්තල ගුවන් තොටුපොල වෙත ගොඩබැස්සාහ. පසුව මෙම සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ සථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත බස්රියකින් ගෙනයනු ලැබිණ.

“අර්බුදකාරී අවස්ථාවලදී අපි නිරන්තරයෙන් අපේ ජාතික ගුවන් සේවය කෙරේ විශ්වාසය තිබ්බා. සුනාමි හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් වූවත් අභියෝගය කුමක් වුවත් ඊට මුහුණ දෙන්න අපි පසුබට වන්නේ නෑ“ යයි ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත චීනයේ වූහාන් නුවර බලා මෙම විශේෂ ගුවන් යානය පිටත්කර හරින ලදි.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරය මේ වන විට ලෝකයෙන් හුදෙකළා කරනු ලැබ  තිබේ. එහෙත් වූහාන් නුවර සිටි සිසුන් 33 දෙනා කැඳවාගෙන ඒමට ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ 16 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ස්වේඡාවෙන්ම ඉදිරිපත් විය.

“අපේ ගුවන් නියමුවන් මෙන්ම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තමන්ගේ නියමිත සේවා වගකීම් සීමාවෙන් එපිටට යමින් මේ අවස්ථාවේදී ගුවන් සේවයේත් ශ්‍රී ලංකාවේත් කීර්තිනාමය රැකගැනීමට ඉදිරිපත් වීම අගය කරනවා. ඒ එක්කම අපි ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයටත් ස්තුති කරනවා“ යයිද අශෝක් පතිරගේ මහතා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad