දැන් කොමිසමට ඇවිත් කඳුළු වගුරලා වැඩක් නැහැ - ඒවා කිඹුල් කඳුළු - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

දැන් කොමිසමට ඇවිත් කඳුළු වගුරලා වැඩක් නැහැ - ඒවා කිඹුල් කඳුළු

දැන් ජනාධිපති කොමිසමට පැමිණ කදුළු වගුරා පලක් නොමැති අතර ඒවා කිඹුල් කඳුළු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.  අගරදගුරු හිමියන් මේ බව සඳහන් කළේ අද (30) තේවත්ත ජාතික බැසිලිකාවේ දේව මෙහෙයකට සහභාගිවෙමිනි.

ප්‍රහාරය ගැන හොඳින්ම දැන සිටියදීත් කිසිත් නොකර දැන් ඇඟ බේරා ගැනීමට හදන බවයි උන්වහන්සේ පැවසුවේ.

''එදා බ්‍රිතාන්‍ය පාලනය යටතේ පීඩා විඳි අපේ රටට නිදහස් ලබා ගැනීමේ කටයුත්ත සඳහා මෙරට ජීවත් වුණු සියලුම ජාතීන් හා ආගමිකයන් කටයුතු කළේ එකා මෙන්. දැන් අපි කාගේ භාෂාවද ලෝකයේ පළමු වැනි භාෂාව කියල වාද කරකර කාලය නාස්ති කරනවා.  මම රජයෙන් ඉල්ලා සිටිනවා සියලුම ආගම්, භාෂාව පදනම් කරගත් පක්ෂ තහනම් කරන්න කියල. ඒවයෙන් කරන්නේ රට බෙදීම විතරයි. තවමත්  අපි ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ යන්නේ කියල. පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් කවුද කියල. දැනට මේ පැවැත්වෙන වග විභාගවලින් සොයා ගෙන යන්නේ තමන්ගේ වගකීම ඉටුනොකරපු දේශපාලඥයින් හා නිලධාරීන් කවුද කියල.  නමුත් මේ බෝම්බ තියපු අය මේවට සල්ලි දුන්න අය මේවා පිටිපස්සේ ඉන්න අය කවුද කියන එක හොයල නෑ තාම. මම බලාපොරොත්තු වෙනවා ජනාධිපති කොමිසමෙන් මේ සිද්ධිය සම්බන්ධව මේ පිටුපස ඉන්න අය සොයා ගෙන යනවා නම්  හොඳයි. ඒවගේම රජයෙන් බලාපොරොත්තු වෙනවා අපට දුන්න පොරොන්දුව මේ වැඩපිළිවෙල පිටිපස්සේ ඉන්න අය කවුද කියල හොයල ඒ අයට දඬුවම් කරනවා කියල කියපු එක ඒ පොරොන්දුව ඉෂ්ට කරාවි කියල.

මේ සිද්ධියට සම්බන්ධ වුණ මේ වගේ දේවල් කරන්න රහසිගතව කුමන්ත්‍රණය කළ අයට සාධාරණය ඉෂ්ට කරයි කියල එහෙම කරන්නේ නැතුව හිමිට හංගල එළියට දාන්න කටයුතු කරනවා නම් එම රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඉස්සෙල්ල තිබුණ  ආණ්ඩුව මෙය හොඳට විමර්ශනය කළේ නැහැ. හොඳටම කරුණු දැනගෙන ඉන්නකොටත් ඒ ගැන මොකුත් කළේ නැහැ. තාමත් ඇඟ බේරගන්න හදනවා. මෙච්චර දැනගෙන ඉඳලා ජනාධිපති කොමිසමට ගිහින් නිලධාරීන් කඳුළු වගුරුවන එක වැඩක් නැහැ. ඒවා කිඹුල් කඳුළු. ඒ වෙලාවේ තමන්ට පැවරෙන වගකීම ඉටු කළේ නැත්තේ ඇයි ? එහෙම නොකරපු නිලධාරීන්ගේ ඔය යුනිෆෝම් ගලවලා දාන්න ඕනේ.'' යනුවෙන් අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ. 

No comments:

Post a Comment

Post Bottom Ad