අරගලයේදී දේපල විනාශ වූ මැති – ඇමතිලාට වන්දි ගෙවයි... මට තාම ලැබුණේ නැහැ – ඇමැති සනත් නිශාන්ත - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 17, 2023

අරගලයේදී දේපල විනාශ වූ මැති – ඇමතිලාට වන්දි ගෙවයි... මට තාම ලැබුණේ නැහැ – ඇමැති සනත් නිශාන්ත

ඉකුත් වසරේ මැයි 09 අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් රටපුරා දේශපාලනඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය විසින් ආරම්භ කර ඇත.

විනාශ කළ දේපළවලට අදාළ නිශ්චල දේපළ සඳහා මූලික අදියර යටතේ වන්දි මුදල් ගෙවීම් ආරම්භ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවැසීය.

ඒ අනුව විනාශයට පත්වූ නිශ්චල දේපළ වෙනුවෙන් පසුගිය රජයේ දේශපාලනඥයන් 15 කට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවා ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

නිවාස සහ දේපළ විනාශයට පත්වූ දේශපාලනඥයන් 72 දෙනකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට මේ වනවිට අනුමැතිය ලැබී තිබේ.

විනාශයට පත්වූ දේපළ නිවාස සහ භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීම සඳහා විශේෂ කණ්ඩායම් කීපයක් රජය විසින් පත් කර තිබිණි. එම කණ්ඩායම් විසින් අදාළ වාර්තා මේ වනවිට ලබාදී ඇති අතර ඒ අනුව මෙම වන්දි මුදල් ගෙවීම් ආරම්භ කර තිබේ.

විනාශයට පත්වූ දේපළ තක්සේරු කිරීමේදී ඇතැම් දේශපාලනඥයන් නොවටිනා මිල ගණන් ඉදිරිපත් කළ බවට පසුගියදා චෝදනා එල්ල කර තිබිණි.

මෙහි මූලික අදියර යටතේ විනාශයට පත්වූ ගොඩනැඟිලි සඳහා වන්දි මුදල් ලබාදෙන අතර දෙවන අදියර යටතේ විනාශයට පත්වූ වාහන සහ බඩු භාණ්ඩ සඳහා වන්දි ලබාදීමට නියමිතය.

එමෙන්ම ආරංචි මාර්ග පවසන්නේ ඇතැම් දේශපාලනඥයන් සිය දේපළ විනාශවීම සම්බන්ධයෙන් රක්‍ෂාවරණ වන්දි විශාල ප්‍රමාණයක්ද ලබාගෙන ඇති බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා කියා සිටියේ විනාශයට පත්වූ තම දේපළ වෙනුවෙන් වන්දි මුදල් මෙතෙක් නොලැබුණු බවත් පිරිසකට එය ලැබුණු බවට තමාටද දැනගන්නට ලැබුණු බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad