ආනවිලූන්දාව වැනසීම පසුපස ‘ඔක්සිජන් ඇමති’. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

ආනවිලූන්දාව වැනසීම පසුපස ‘ඔක්සිජන් ඇමති’.



මෙම වාර්තාව උපුටා ගැනීම දිවයින ඉරිදා සංග‍්‍රහයෙනි….

ආනවිලූන්දාව යනු පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම් ප‍්‍රදේශයකි. මීගමුව-පුත්තලම මාර්ගයේ පිහිටි මෙම ප‍්‍රදේශයේ ඉතා වටිනා තෙත්බිම් පරිසරයක් පිහිටා තිබේ. මුතුපන්තිය ධීවර ගම්මානයට හා ඉපැරණි ඕලන්ද ඇළට නැෙඟනහිරින් හා මීගමුව-පුත්තලම මාර්ගයට බටහිරින් මෙන්ම, බත්තුලූ ඔය හා සෙන්ගල් ඔය යන දියපාර දෙකට මැදිව පිහිටා ඇති මෙම තෙත්බිම යනු වෙන කිසිවකුත් නොව, පළමුවන පරාක‍්‍රමබාහු නොහොත් මහා පරාක‍්‍රමබාහු රජු පොලොන්නරුවේ රජකම භාරගන්නටත් ප‍්‍රථම, පරාක‍්‍රමබාහු කුමාරයා ලෙස රාජ උරුමය දරද්දී නිර්මාණය කර, අස්වද්දන්නට යෙදුණු කෙත්වතු යායට දියවර සැපයු වැව් සංකීර්ණය ලෙස හැඳින්වේ.

පිංකට්ටිය, මරදන්සෝල, ආනවිලූන්දාව, සුරුවිල, මයියාව, වෙදාගේ වැව, ඉරක්කාවෙල යන වැව් ඇතළත්, අදටත් පැහැදිලිව හඳුනාගත හැකි මෙම වාපි සංකීර්ණය විශ්මිත නිර්මාණයකි. එනම්, මෙහි වැව් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ තනි වැව් බැම්මකින් බෙදී යන අතුරු වැව් බැමි කිහිපයකිනි. එනම් එල්ලංගා වැව් සංකීර්ණයක් වන මෙහි ඇතැම් වැව් දෙකක් දෙපසට නිර්මාණය වන්නේ මැදින් ඉදිකළ තනි වැව් බැම්මකිනි. එසේම, එම වැව් බම්ම ම දිගු කිරීමෙන් තවත් වැවකට වැව් බැම්මක් සාදයි. මෙම වැව් පද්ධතියේ තවත් විශේෂත්වයක් වන්නේ එක් වැවක් පිරීමෙන් පසු තවත් වැවක් පිරෙන සේ විශිෂ්ට ජල කළමනාකරණයක් මෙහි පිළිබිඹු කිරීමයි. එනම්, ආනවිලූන්දාව යනු හෙළ වාපි සංස්කෘතිය පිළිබඳ විශ්වකෝෂයක් බඳු තැනකි. මේ පිළිබඳව මේ රටේ බහුතර ජනයා හෝ වාරි විද්වතුන් පවා හරි හැටි දන්නේ දැයි අපිට ගැටලූවක් තිබේ.

කෙසේ හෝ මේ නිර්මාණය කරන ලද (Man Made) තෙත් බිම් සංකීර්ණය වර්තමානය වනවිට ඉතා හොඳින් ස්වභාවික තෙත් බිම් පරිසර නිකේතනයක් බවට ස්ථාවර වී තිබෙන අයුරු එහි යනෙනා කාහටත් වැටහෙන කාරණයකි. උතුරු අර්ධ ගෝලයේ ශීත ඍතුව පටන්ගන්නා කල ශ‍්‍රී ලංකාව බලා පියාසරන පර්යටනික පක්ෂීන් සිය දහස් ගණනකගේ පළමු පෙළ නවාතැන්පළක් බවට පත්ව ඇති ආනවිලූන්දාව තෙත්බිම අද ලොවම පිළිගත් වන සත්ත්ව අභයභූමියකි.

මෙය ලොවම පිළිගත් අභයභූමියක් බවට අප පවසන්නේ අතිශයෝක්තියකින් නොවේ. මෙම තෙත් බිම් සංකීර්ණය වූ කලී ශ‍්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට පිදුණු දෙවැනි තෙත් බිම වේ. ඉරානයේ රම්සාර් නුවරදී 1971 දී පවත්වන්නට යෙදුණු තෙත්බිම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ලෝක කථිකාව පරිදි නම් කරන්නට යෙදුණු ගෝලීය තෙත්බිම් ලේඛනයට ශ‍්‍රී ලංකාවෙන් පළමුව එක්වූ බුන්දල ජාතික උද්‍යානයෙන් පසු දෙවැනියට නම් කෙරෙන ආනවිලූන්දාව, රටට මහත් අභිමානයක් එක්කරන අපූරු පරිසර නිකේතනයකි.

මෙසේ ආනවිලූන්දාව ජාත්‍යන්තර රම්සාර් තෙත්බිමක් ලෙස ප‍්‍රකාශයට පත්කෙරෙන්නේ 2001 වසරේදීය. එනමුත් මෙහි ඇති වටිනාකම් සලකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආනවිලූන්දාව, අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කරන්නේ 1997 වසරේදීය. ඉන් පසු වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයක් ද මෙහි පිහිටුවා අභයභූමිය ආරක්ෂා කරනු ලබන්නේ දහසකුත් බාධක මැදය.

ලෝක සංරක්ෂණ සංගමය ඇතුළු පාරිසරික පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල, පාසල්, පරිසරලෝලීන්ගේ අධ්‍යයන මධ්‍යස්ථානයක් හා, විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගත් ක්ෂේමභූමියක් වන මෙය ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් ස්ථානයකි.

එහෙත්, වරින් වර මේ තුළ සත්ත්ව දඩයම්, කඩොලාන හා වන විනාශය භූමිය අල්ලා ගැනීම් වාර්තාවන නමුත් බොහෝ අවස්ථාවලදී නිලධාරීන් මැදිහත්ව ඒවා වැළකූ අවස්ථා එමටය. නමුත් ආනවිලූන්දාවට ඇති තර්ජන තවමත් නිමවී නැති බව ඉකුත්දා මහ රාත‍්‍රියේ බුල්ඩෝසර රැගෙනවිත් මෙම අභයභූමියේ අක්කරයකට වැඩි ප‍්‍රමාණයක් හෙළි පෙහෙළි කිරීමෙන් පැහැදිලි වේ.

ඉස්සන්කොටු සඳහා මෙසේ අභයභූමිය එළිකර ඇති අතර, එක රැයින්ම ලියදි මෙන් සකසා ඉස්සන් වගාවට ම සුදුසු පරිදි භූමිය සකසන්නට තරම් සූක්ෂමව හා ඉක්මණින් ක‍්‍රියාකරන්නට මේ කටයුත්ත සිදු කළ පුද්ගලයන් කටයුතු කර ඇත. මේ සඳහා ප‍්‍රදේශයේ දේශපාලකයකුගේ පූර්ණ සහාය හා ආරක්ෂාව ලැබී ඇති බව වාර්තා වේ. මේ සඳහා මැදිහත්වී ඇත්තේ මීට ප‍්‍රථම මීගමුව ප‍්‍රදේශයේදී කඩොලාන භූමියක් විනාශකරන්නට අවසරදී ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනිය හා පැටලූණු ඇමැතිවරයා ම බව වාර්තා වේ.

ඔහුගේ සොයුරකු මේ පසුපස සිටින බව වාර්තාවන අතර, ප‍්‍රදේශයේ ඇළක් පිළිසකර කරන මුවාවෙන් බුල්ඩෝසර රථ ගෙනැවිත් මෙසේ වනය එළි කළ දින සවස 6 න් පසු අභයභූමිය තුළට ඒවා රැගෙනවිත් මෙම විනාශය සිදුකර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට මෙම විනාශය පිළිබඳව ආරච්චිකට්ටුව පොලිසිය දැනුවත්කර, හලාවත අධිකරණයට කරුණු වාර්තාකර ඇති බව වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහත්වරු පවසති. මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂ එරන්ද ගීතරුවන් මහතාගේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇත

– divaina

No comments:

Post a Comment

Post Bottom Ad