මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිරය සහ වානේ මතුපිට කොරෝනා වෛරසය දින 28ක් කි‍්‍රයාකාරීව තිබෙනවා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිරය සහ වානේ මතුපිට කොරෝනා වෛරසය දින 28ක් කි‍්‍රයාකාරීව තිබෙනවා.

කොරෝනා වෛරසය මුදල් නෝට්ටු, ජංගම දුරකථනවල තිරය මතුපිට හා මළ නොබැඳෙන වානේ ද්‍රව්‍ය මතුපිට දින 28ක් ක‍්‍රියාකාරීව පවතින බව ඔස්ටේ‍්‍රලියානු ජාතික විද්‍යා ආයතනයේ පර්යේෂකයන් විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකදී අනාවරණය කරගෙන තිබේ. මෙම පර්යේෂණ ප‍්‍රතිඵලය අනුව මෙතෙක් කල් හඳුනාගෙන තිබූ කාලයට වඩා වැඩි කාලසීමාවක් කොරෝනා වෛරසය යම් යම් ද්‍රව්‍ය තුළ ක‍්‍රියාකාරීව පවතින බව තහවුරු වී ඇති බව පර්යේ්ෂකයෝ පවසති.

මෙයට පෙර සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ කොරෝනා වෛරසය මුදල් නෝට්ටු හා වීදුරු මත දින 2-3 අතර කාලසීමාවක්ද, ප්ලාස්ටික් හා මළ නොබැඳෙන වානේ මත දින 06ක් දක්වාද ක‍්‍රියාකාරීව පවතින බවයි. මෙසේ දින 28ක් කොරෝනා වෛරසය යම් යම් ද්‍රව්‍ය මත ක‍්‍රියාකාරීව පැවතීම හේතුවෙන් එම කාලය තුළ වෛරසය යමෙකුට ආසාදනය වීමේ හැකියාව ඇති බවද පර්යේෂකයෝ පවසති.

කොරෝනා වෛරසය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වැඩි වශයෙන් සම්පේ‍්‍රෂණය වන්නේ කහින විට, කිවිසුම් යන විට හා කතා කිරීමේදී පිටතට විසි වන සොටු හා කෙළ බිඳිති මගින් බව මෙතෙක් වෛද්‍ය මතය වී තිබිණි.

පර්යේෂකයන්ට අනුව ජංගම දුරකථන මෙන්ම ප්ලාස්ටික් හා කඩදාසි මුදල් නෝට්ටු සෙල්සියස් අංශක 20ක (ෆැරන්හයිට් අංශක 68) උෂ්ණත්වයක හා අඳුරු පරිසරයක තැබීමෙන් මෙම වෛරසයේ පැවැත්ම තවත් ශක්තිමත් වේ.

ඇතැම් පර්යේෂකයන්ට අනුව කොරෝනා වෛරසය මරා දැමීමට පාරජම්බුල කිරණවලට හැකියාව පවතී. ජංගම දුරකථනවල මතුපිට සබන් හා ජලය යොදා පිරිසිදු රෙදි කඩකින් නිරතුරුව පිරිසිදු කිරීම මෙන්ම ජංගම දුරකථනය ඇල්ලීමට පෙර දෑත් හොඳින් පිරිසිදු කරගැනීම හරහා එවැනි දුරකථනයක කොරෝනා වෛරසය පවතී නම් වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගත හැකි බව පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

මෙම පර්යේෂණයේ වාර්තාව ‘වෛරොලොජි ජර්නල්’ සඟරාවේ පළ කර තිබේ.

ඒමන්ති මාරඹේ -දිවයින පුවත්පත.

No comments:

Post a Comment

Post Bottom Ad