උඹ මහ පාරෙ පුච්චලා මරණවා… බදියුදීන්ගෙන් වැලිකඩ දොස්තරට තර්ජන.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 22, 2021

උඹ මහ පාරෙ පුච්චලා මරණවා… බදියුදීන්ගෙන් වැලිකඩ දොස්තරට තර්ජන..

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මරණ තර්ජන කළ බව පවසමින් බන්ධනාගාර වෛද්‍යවරයෙක් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇත.

මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු විසින් ඊයේ (21) එම පැමිණිල්ල කර තිබේ.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ බෙහෙත් ශාලාව තුළ පසුගිය 15වනදා අදාළ වෛද්‍යවරයා විසින් රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවය.

එහිදී මන්ත්‍රීවරයාට පිටතින් සිටින ලෙසත් අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහුව ඇතුළට කැඳවන බවත් වෛද්‍යවරයා විසින් පවසා ඇති බව වාර්තා වේ.

එහිදී කුපිත වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, බැණවැදී ඇත්තේ, “උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාලු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්,මගේ වැඩ කරගන්න තමුසේ ඕන නැහැ” යනුවෙන් බව අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

“තමුසේ දන්නැද්ද මම මොකක් කරලා ද ආවේ කියලා. ඒ වගේම තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි. එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහත් ළමයින්ට තාත්තත් නැති වෙයි. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්.” යනුවෙන් මන්ත්‍රීවරයා මරණීය තර්ජන කළ බවද වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ දැක්වේ.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි.” යනුවෙන් ද මන්ත්‍රීවරයා එහිදී පැවසූ බව වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත.

“දොස්තර.. පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතනින් පලයන්. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්.” යනුවෙන් තර්ජනාත්මකව හා අපහාසාත්මක බැණවදිමින් ආවේගශීලීව හැසිරුණු බව වෛද්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

අදාළ වෛද්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යතුමියට, බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුට වාචිකව සහ ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාව අද (22) දහවල් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගගෙන තිබේ.

මේ අතර කොළඹ අපාරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම සිදුවූ ස්ථානය පරීක්ෂා කර ඇත.

– Adaderana

No comments:

Post a Comment

Post Bottom Ad