සමරිසි පුරුෂයින් තිදෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 10, 2021

සමරිසි පුරුෂයින් තිදෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි!

සමරිසි පුරුෂයින් තිදෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් විභාගයට නොගෙන ඉවත දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබේ.

සමලිංගිකත්වය නම් චෝදනාව මත අත්අඩංගුවට පත්වූ මෙම පුද්ගලයන් තිදෙනා ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා අදහස් නොකරන බව පොලීසියට කළ දැනුම් දීමකට අනුවයි එසේ ඉවත දමා තිබෙන්නේ.

අදාළ පුද්ගලයින් තිදෙනා පෞද්ගලික හෝටලයක ලැගුම් ගෙන සිටියදී පොලීසිය සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඒ සඳහා එම හෝටලයේ නානකාමරයේ සනීපාරක්ෂාව සඳහා ඇසුරුම් කර ඇති විවෘත නොකළ කොන්ඩම් පැකට්ටුවක් සාක්ෂි වශයෙන් ලබා ගෙන තිබේ.

කෙසේවෙතත්, මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කිසිදු ලිංගික ක්‍රියාවක නිරත වී නැති අතර, සමලිංගිකත්වය නම් චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

මෙම වැටලීම සිදුකර තිබෙන්නේ නාරාහෙන්පිට පොලීසිය විසිනි. 

වින්දිතයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමේදී තමාට පහර දුන් බවට චෝදනා නඟන අතර, ඔවුන්ගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ගුදමාර්ග ආශ්‍රිත පරීක්ෂා සඳහා අධිකරණ වෛද්‍යවරුන් වෙත යොමුකර ඇති බව ද සඳහන්. 

ඩේලිමිරර් පුවත්පත වාර්තා කරන අන්දමට, වින්දිත පාර්ශවයේ එක් පුද්ගලයකු මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.

ශ්‍රී ලංකාවේ එල්ජීබීටී+ පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳව තියුණු කතිකාවතක් නිර්මාණය වෙමින් පවතින හා, ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ එල්ජීබීටී+ පුද්ගලයන්ට එරෙහිව පොලීසියෙන් සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුවූ නඩුවක් විභාගයට ගැනෙන අවස්ථාවකම මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.

LGBTIQ සංස්කාරක

No comments:

Post a Comment

Post Bottom Ad