අරගලයේ ක්‍රියාකාරීන් වූ රැට්ටා, ඩිලාන් සහ කෝනාරට විදේශයකින් රුපියල් කෝටි හතර හමාරක මුදලක්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 18, 2022

අරගලයේ ක්‍රියාකාරීන් වූ රැට්ටා, ඩිලාන් සහ කෝනාරට විදේශයකින් රුපියල් කෝටි හතර හමාරක මුදලක්?

ගෝල් ෆේස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් තුන් දෙනෙක් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ  අවිශ්ක විරාජ් කෝනාර යන තිදෙනාට පිටරටින් කිසිදු මුදලක් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් තහවුරුකර ගෙන තිබේ.

ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාටද  දැනුම් දී ඇත. පොලිස්පතිවරයා එය ආරක්ෂක අමාත්‍යාංශයටද සඳහන් කර තිබේ.

අරගලයේ ක්‍රියා කාරිකයන් වන මොවුන් තිදෙනාගේ බැංකු ගිණුම්වලට රුපියල් කෝටි එකහාමාර බැගින් වූ මුදලක් පිටරටකින් බැරවී ඇති බව සඳහන් කරමින්  ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලීසියට දැනුම්දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි.  ඒ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවූ තොරතුරක් මූලාශ්‍රකර ගනිමිනි.

පොලිස්පතිවරයා ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුවත් කරනුයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙමින් ඇති එම තොරතුරෙහි  ඇත්ත නැත්ත සොයා බලන ලෙසය.

එහි ඇත්තක් තිබේ නම් එම මුදල් ඔවුන්ට ලැබී ඇති ආකාරය පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙසද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පැවති එම තොරතුරෙහි සඳහන් වූ ආකාරයට අනුව මෙම අරගලකරුවන් තිදෙනාට මුදල් ලැබී ඇත්තේ    කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි ලංකා බැංකු ශාඛාවක මෑතකදී ඔවුන් විවෘත කළ බැංකු ගිණුමකටය.

මෙම මුදල් නිදහස්කර ගැනීමට ඔවුන් තිදෙනාම එකම මෝටර් රථයක නැගී පැමිණි බවත් බැංකුවේ නිලධාරීන් එම මුදල් ඔවුන්ට ලද ආකාරය ගැන විමසීමේදී ඔවුන් එම ස්ථානයේ කළහාකාරී ලෙස හැසිරී බැංකු නිලධාරීන් බිය ගන්වා ඇති බවත් එම සාමාජ මාධ්‍ය ජාල තොරතුරුවල සඳහන් විය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුලින්ම අදාල බැංකුවට ගොස් එම අරගලකරුවන්ට අයත් ගිණුම් බැංකුවේ තිබේදැයි පරීක්ෂා කර ඇත. එහිදී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ එවන් ගිණුමක් ඒ කිසිවෙකුටත් එම බැංකුවේ නොමැති බවය. අඩුම තරමින් වෙනත් අයෙකුගේ ගිණුමකින් මුදල් ලබාගැනීමකට හෝ වෙනයම් කරුණක් සදහාවත් ඒ කිසිවෙකුත් බැංකුවට පැමිණ ඇති බවක්වත් අනාවරණය වී නැත.

එයින් සීමා නොවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහා බැංකුවේ මධ්‍යම බුද්ධි ඒකකයෙන්ද කරුණු සොයා බැලීමක් කර තිබේ. එහිදීද පෙනී ගොස් ඇත්තේ මේ කියන අරගලකරුවන්ගේ වෙනත් බැංකුවල ඇති ගිණුමකටවත් මෙවැනි මුදලක් ලැබී නැති බවය. අඩුම තරමින් පිටරටින් තබා මෙරටින්වත් ඔවුන්ට විශාල මුදලක් ලැබී නැති බව එහිදී පැහැදිලිවම හෙළිවී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් පොලිස්පතිවරයාට ඒ බවම දැනුම් දී  ඇත. පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී දැනුම් දී ඇත්තේ එසේ නම් විමර්ශනයක් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බවකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තත්ත්වය ගැන පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad