ඉන්ධන අර්බුදයෙන් බැංකු පද්ධතියත් හාන්සියි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 5, 2022

ඉන්ධන අර්බුදයෙන් බැංකු පද්ධතියත් හාන්සියි!

ඉන්ධන අර්බුදය හමුවේ බැංකු පද්ධතිය ක්‍රමයෙන් අඩපණ වෙමින් පවතින බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා පවසයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ධනුෂ්ක කුමාරසිංහ මහතා මේ බව කියා සිටියේය.

මේ අර්බුදය හමුවේ ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් වැඩකපිළිවෙලක් සකස් කර නොමැති බවද ඔහු කියා සිටී.

ඉන්ධන මදිවට විදුලියත් නොමැතිවී නිසා විශේෂයෙන්ම ග්‍රාමිය පළාත්වල බැංකු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි කුමාරසිංහ මහතා කියයි.

වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය.

"මේ වෙනකොට බැංකු පද්ධතියේ වැඩකර ගෙන යෑම සඳහා ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් තමයි බැංකු සේවකයෝ රාජකාරියට එන්න වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට තමයි. බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත් සමග බැංකු දුවන්න වෙලා තියෙන්නේ ඉන්ධන ජෙනරේටර් භාවිත කරලා. එතකොට බැංකු පවත්වාගෙන යෑම සඳහා ඒ ජෙනරේටර් පවත්වාගෙන යෑමට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සිද්ධවෙලා නැහැ. ඒ මේ වෙද්දි එකින් එක වැහෙමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත්විට ග්‍රාමිය පළාත්වල බැංකු පවත්වාගෙන යන්න බැහැ. බැංකු පවත්වාගෙන යෑම සඳහා ජෙනරේටර් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒවට ඉන්ධන නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම සේවකයින් රාජකාරියට වාර්තා කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ නිසා මේ බැංකු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේවනතුර නිෂ්චිත වැඩපිළිවෙළක් අපිට ඉදිරිපත්කරලා නැහැ. ඒ නිසා ඉදිරියේදී බැංකු පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවක් තියෙනවා."

No comments:

Post a Comment

Post Bottom Ad