හඬ පටයක් යළිත් කරළියට – දේශබන්දු දුන් නියෝගයකුත් හඬ පටයේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 6, 2022

හඬ පටයක් යළිත් කරළියට – දේශබන්දු දුන් නියෝගයකුත් හඬ පටයේ!

ඉකුත්‌ ජූලි මස 09 වැනිදා අරගලකරුවන්‌ විසින්‌ ජනාධිපති මන්දිරයයේ තිබී සොයාගෙන කොටුව පොලිස්‌ ස්ථානාධිපතිවරයාට බාරදී තිබූ රුපියල්‌ එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්‌ දහසක මුදල අධිකරණයට බාරදෙන තෙක්‌ සිදු වූ සමස්ත ක්‍රියාවලියම විනය විරෝධී ක්‍රියාවලියක්‌ බව පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ඩී. එස්‌. වික්‍රමසිංහ මහතා ඊයේ (05) කොටුව මහෙස්ත්‍රාත්‌ අධිකරණයට දැනුම්‌ දුන්නා.

මෙම පැමිණිල්ල ඊයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්‌ තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළා.

ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට තමා විසින්‌ පොලිස්පතිවරයා වෙත වාර්තා කරන බවත්‌ ඔහු දැනුම්‌ දී තිබෙනවා.

ඊට අමතරව අදාළ මුදල්‌ මහජන ආරක්ෂක ඇමති ටිරාන්‌ අලස්‌ මහතාට පසු දින බාරදෙන ලෙසට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහතා විසින්‌ දුරකථන ඇමතුමක්‌ මගින්‌ කොටුව පොලිස්‌ ස්ථානාධිපතිවරයාට දන්වා ඇති බවට මෙතෙක්‌ සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත්‌ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින්‌ මහේස්ත්‍රාත්වරයා වෙත වැඩිදුරටත්‌ දැනුම්‌ දී තිබෙනවා.

එසේ මුදල්‌ බාරදෙන ලෙසට ලබාදුන්‌ බව කියන දුරකථන ඇමතුමට අදාළ හඬපට පොලිස්‌ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත ලබා දෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත්‌ තිළිණ ගමගේ මහතා විසින්‌ ඊයේ විදුලි සංදේශ නියාමක කොමිසම සහ දුරකථන සමාගම්‌ දෙකකටත්‌ නියෝග කළා.

එසේම අදාළ දුරකථන සංවාද සම්බන්ධයෙන්‌ සිදු කරන විමර්ශන සඳහා සහාය වන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල්‌ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා වෙතද නියෝගයක්‌ නිකුත් කළා.

මේ අතර බස්නාහිර පළාත්‌ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහතා විසින්‌ ලබාදුන්‌ දුරකතන ඇමතුම සම්බන්ධව කොටුව පොලිස්‌ ස්ථානාධිපතිවරයා තබා ඇති සටහන්‌ වල චාර්තා ද ඊයේ දින අධිකරණය වෙත ඉදිරිපත්‌ කර තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad