රනිල් සමග යන බව කී ප‍්‍රසන්න අලු මතින් නැගිටින්න පුත්තලං යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 27, 2022

රනිල් සමග යන බව කී ප‍්‍රසන්න අලු මතින් නැගිටින්න පුත්තලං යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවට පසුගිය සතියේදී ආරංචි පැතිරගිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පුත්තලම, ආරච්චිකට්ටුව පැවති “එක්ව නැඟිටිමු” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවිය. 
ඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවස පිහිටි ස්ථානයේ මෙම ජනරැළිය සංවිධානය කර තිබුණි.

ජන රැළියට සහභාවීමට පෙර ඇමතිවරයා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, සම්පත් අතුකෝරළ ඇතුළු පිරිස සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරතවූයේය.

අනතුරුව රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගිය ඇමතිවරයා රැස්වීම සංවිධානය කරමින් සිටි පිරිස සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ අද (27) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගීවීම සඳහා නැවත කොළඹ බලා පිටත්විය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේ දී විදේශගතව සිටි අතර ඒ හේතුවෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමට ද සහභාගී නොවීය.

ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවට ඒ අතරවාරයේදී මාධ්‍ය වාර්තා පළ විය. ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බවයි. ජනාධිපතිවරයාට සහාය පළකිරීම අලියා පිටේ නැඟීමක් නොවන බවද ඔහු කීවේය.

එවැනි වටපිටාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගෙඩවීම සම්බන්ධයෙන් ජන රැළිය සංවිධානය කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සිය ස්තූතිය පළකළේය.

– ප්‍රදීප් අනුර කුමාර


No comments:

Post a Comment

Post Bottom Ad