මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු හිංසනයට ලක් කරලා! මාධ්‍ය හමුවක් පවත්වා සියල්ල හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Thursday, January 5, 2023

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු හිංසනයට ලක් කරලා! මාධ්‍ය හමුවක් පවත්වා සියල්ල හෙළි කරයි

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් තමන් කායික හා මානසික හිංසනයට ලක් කලේ යැයි චෝදනා කරමින් කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන් දෙදෙනකු විසින් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.                                      
මේ මස 04 වනදා පස්වරුවේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරියන් විසින් ආණ්ඩුකාරවරයාට එරෙහිව පොලිසියේ පැමිණිලි කොට ඇති අතර එම මන්ත්‍රීවරියන් සඳහන් කරන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාව සමස්ත කාන්තා පරපුරට සිදු කළ හිංසනයක් වශයෙන් සලකා හෙළා දකින බවයි.                                                                                          

කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිනී පොඩිමැණිකේ අබේසිංහ හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දීපිකා කුමාරි ඒකනායක යන හිංසනයට ලක්වූ බව සඳහන් කාන්තාවන් දෙදෙනා ඊයේ (05) මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් කියා සිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා යනු පලාත් පාලන පනත පිළිබඳව හෝ නිසි අවබෝධයක් නොමැති පුද්ගලයෙකු බවයි.                    

මෙහිදී තවදුරටත් අදහස් පලකල මන්ත්‍රීවරියන් දෙදෙනා මෙසේද ප්‍රකාශ කළා.

“කුණ්ඩසාලේ ප්‍රදේශීය සභාවේ සභාපති රංජර අක්මීමන යන අයගේ වංචා ,දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අපි මීට ප්‍රථමයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිලි කොට එම චෝදනා 08 ක් ඔප්පු වුණා. වෙනත් ප්‍රදේශීය සභාවල සභාපතිවරු වෙනුවෙන් නීතිය අකුරට ක්‍රියාකළ ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නෑ. ඉන් අනතුරුව අපි නැවතත් සභාපතිවරයාට එරෙහිව චෝදනා හතක් එල්ල කොට කොමසාරිස්වරයාට පැමිණිලි කළා. එම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව චෝදනා සියල්ල ඔප්පු වුණා. එම වාර්තාව අරගෙන තමයි අපි දෙදෙනා 04 දින මහනුවර ආණ්ඩුකාර කාර්යාලයට ගොස් එම වාර්තාව භාරදීමට උත්සහ කළේ නමුත් මෙහිදී වියරු වැටුණු ආකාරයෙන් කටයුතු කළ ආන්ඩුකාරවරයා දීපිකා මන්ත්‍රීවරියගේ අත ඇඹරෙන ආකාරයෙන් තදින් අල්ලා ඇගේ අතේ තිබුණු වාර්තා උදුරාගෙන ඒවා ගුලිකොට ඇගේ මුහුණට සහ පපුවට දමා ගැසුවා. අපි එවිට විමසුවා ආණ්ඩුකාරවරයා පක්ෂාග්‍රාහීව කටයුතු කරන්නේ ඇයි කියලා. එතකොට ඔහු අපිට කිව්වේ මටත් දේශපාලනය කිරිමේ අයිතියක් තියනවා කියලයි. ඉන්පසුව ඔහු බැන වැදී අප දෙදෙනාට කාර්යාලයෙන් පිටතට යන ලෙස නියෝග කළා. ඉන්පසුව තමයි අපි දෙදෙනා මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණ පැමිණිලි කිරීමට පියවර ගත්තේ.                                                                                              

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කියා සිටියේ මෙම චෝදනා කරන ආකාරයේ කිසිදු හිංසනයක් තමා විසින් නොකළ බවත් චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.

මෙම වාර්තාව අතින් භාර දීම කාර්ය පටිපාටියට පටහැනි බැවින් එය කොමසාරිස්වරයා හරහා තමා වෙතට ලැබීමට සලස්වන මෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් හට පැවසූ අවස්ථාවේ ඔවුන් දෙදෙනා තමා හට විවිධාකාර චෝදනා එල්ල කළ බවද පවසා සිටි ආණ්ඩුකාරවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව මාධ්‍යයට විධිමත් ප්‍රකාශයක් ලබාදිය හැකි බවය.

මහනුවර – කමල් සුරවීර


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *